42.31%
17.27%
32.76%
October 4, 2024

මැදපෙරදිග ගැටුම් උත්සන්න වීමත් සමග ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අද දිනයේ යළිත් ඉහළ ගොස් තිබේ.

මෙම ඉහළ යෑම සිදුව ඇත්තේ ඊශ්‍රායලය වෙත ටෙහෙරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඉරානයේ තෙල් පිරිපහදුවලට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ එක්සත් ජනපදය සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ප්‍රකාශ කළ පසුබිම තුළය.

ඔහුගේ එම ප්‍රකාශය තෙල් මිල 5%කින් ඉහළ නැංවීමට දායක වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද අමෙරිකානු ඩොලර් 77.71 දක්වා ශත 9කින් හෝ 0.12%කින් ඉහළ ගිය බවයි.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද දිනයේ ඩොලර් 73.79 දක්වා ශත 8කින් හෝ 0.11%කින් ඉහළ ගොස් තිබේ.

මිණුම් සලකුණු දෙකම සතිපතා 8%ක පමණ ප්‍රතිලාභයක් ලබා ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෝලීය බොරතෙල් සැපයුමෙන් තුනෙන් එකක් පමණ වන මැදපෙරදිග සැපයුම් කඩාකප්පල් වීමේ සම්භාවිතාව හේතුවෙන් වෙළඳපළ තුළ මෙලෙස මිල ගණන් වෙනස් වීමට පටන් ගෙන ඇති බව බොරතෙල් කර්මාන්තයේ විශ්ලේෂකයකු වන ඩැනියෙල් හයින්ස් පවසයි.

 

42.31%
17.27%
32.76%