42.31%
17.27%
32.76%
October 3, 2024

ඉදිරි මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර තිබේ.

‘දි අයිලන්ඩ්’ පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී සිය 43 වසරක දේශපාලන ජීවිතය ගැන ආවර්ජනය කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ විවිධ අභියෝගවලට මුහුණ දුන්නද තම ඡන්දදායකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිමින් අඛණ්ඩව මැතිවරණවලට ඉදිරිපත් වූ බවයි.

වත්මන් පක්ෂ දේශපාලනය පිළිබඳ දැඩි කළකිරීම පළ කර ඇති අබේවර්ධන පසුගිය මාස කිහිපය තුළ ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට කිහිප වතාවක්ම කල්පනා කළ බව සඳහන් කර තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව තවත් ප්‍රකට දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද ප්‍රකාශ කර තිබේ.

හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විශ්‍රාම යෑමට කැමැත්ත පළ කර ඇති අතර ඉවත්වීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බව ප්‍රකාශ කර ඇත.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු විශ්‍රාම යෑමට ඇති කැමැත්ත පිළිගත්තද තම දේශපාලන ජීවිතය පුරා තමාට සහයෝගය දුන් අය කෙරෙහි තමාගේ වගකීම පිළිබඳ හැඟීම අවධාරණය කළේය.

ඔහුගේ දේශපාලන සගයන් සහ ආධාරකරුවන් අතහැර දැමීම දුෂ්කර තේරීමක් වනු ඇතැයි ඔහු පවසා තිබේ.

“මට ඉවත් වීමට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අය එක්ක අවුරුදු 35ක් වැඩ කළාට පස්සේ මට ඔවුන්ව දාලා යන්න බැහැ. මට තියෙන එකම ප්‍රශ්නය මට එයාලව දාලා යන්න පුළුවන්ද බැරිද කියන එක විතරයි. එය දිනීම හෝ පැරදීම ගැන නෙවෙයි, ” යනුවෙන් ඔහු පැවසීය.

විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලැබුණු අදහස වන්නේ යළි මැතිවරණයකට ඉදිරිපත් විය යුතු බව යැයි ද සිල්වා අනාවරණ කර ඇත.

 

42.31%
17.27%
32.76%