42.31%
17.27%
32.76%
October 3, 2024

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන්ට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මියගොස් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් රජයට භාර දී නැතැයි වාර්තා වේ.

මෙම නිල නිවස ඔහුට පාවිච්චි කිරීම සඳහා ලබා දී තිබුණේ කැබිනට් අනුමැතියකිනි.

මෙම නිවස නැවත රජයට ලබාගැනීමට නම් එම තීන්දුව වෙනස් කරමින් අලුත් කැබිනට් තීන්දුවක් ගතයුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම නිල නිවස නැවත රජයට ලබාගැනීම සඳහා අමාත්‍යාංශය පසුගියදා එවක ඇමැති දිනේෂ් ගුණවර්ධනට කැබිනට් පත්‍රිකාව භාරදුන්නද, ආණ්ඩුව වෙනස්වීමත් සමඟ කැබිනට් අනුමැතිය ලබාගැනීම නතර වූ බව දැනගන්නට ඇත.

එම පත්‍රිකාව නව ඇමැති ආචාර්ය හරිනි අමරසූරියට භාරදීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සම්බන්ධන් 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු ඔහුට මෙම නිල නිවස හිමිවිය.

අනතුරුව 2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්වී දින පනස්දෙකේ ආණ්ඩුවෙන් පසු යළි විපක්ෂ නායක ධුරයට පත්වුවද සම්බන්ධන්ට එම නිල නිවසේ තවදුරටත් සිටීමට අවස්ථාව ලබාදුන්නේය.

අනතුරුව යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව 2019 වර්ෂයේ පෙබරවාරි 26 ගත් තීරණයක් අනුව සම්බන්දන්ට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසට සිටිනතුරු එම නිවස පාවිච්චි කිරීමට අවසර ලබාදී තිබිණි.

මෙම නිල නිවසේ ජල බිල්පත්, විදුලි බිල්පත්,දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවත්, මෙම නිලනිවසේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන සේවකයන්ට වැටුප් ලබාදෙන්නේ රජයෙන් බවත් වාර්තා වේ.

එම නිවසේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් 2017 වසරේ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක මුදලක් ද වැයකර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

සම්බන්ධන්ට විපක්ෂ නායක ධුරය අහිමි වීමෙන් පසුව ඔහු මියයන තෙක්ම එම විපක්ෂ නායක නිල නිවසේ ජීවත්විය.

(ලංකාදීප)

 

42.31%
17.27%
32.76%