42.31%
17.27%
32.76%
October 3, 2024

පසුගිය මාස 8 තුළ විවිධ හේතු නිසා මෙරටින් අලි මරණ 239ක් වාර්තා වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග අනුව වෙඩි තැබීම්වලින් 40ක්, විදුලිසැර වැදීමෙන් 31ක්, ‘හක්ක පටස්’ පුපුරණ ද්‍රව්‍යවලින් 28 ක්, විෂ ශරීරගත වීමෙන් 04ක්, දුම්රිය අනතුරු 05ක්, මාර්ග අනතුරකින් 06ක්, දියේ ගිලීමෙන් 11ක් සහ වෙනත් අනතුරු හේතුවෙන් අලින් 07ක් මියගොස් ඇත.

තවද, අනෙකුත් මරණවලට හේතු වී ඇත්තේ ස්වාභාවික හේතූන් හෝ හඳුනා ගැනීමට නොහැකි වූ හේතුන්ය.

මෙම මිය ගිය අලි ඇතුන්ගෙන් බහුතරය තරුණ අලි බව ද වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම පවතින අලි මිනිස් ගැටුම හේතුවෙන් මේ වසරේ මේ දක්වා මිනිස් ජීවිත 57ක් අහිමිවී තිබේ.

වනජීවී දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 දී අලි මිනිස් ගැටුම ඇතුළු විවිධ හේතූන් මත අලි ඇතුන් 488ක් මිය ගොස් තිබූ අතර ගැටුම හේතුවෙන් මිනිස් මරණ 184ක් සෘජුවම සිදු වී තිබිණි.

2011 වසරේ 5,878ක් වූ අලි ගහනය වනජීවී බලධාරීන් මේ වනවිට ඇස්තමේන්තු කර ඇත්තේ 6,000ත් 7,000ත් අතර සිටිය හැකි බවටයි.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් අලි ගහනය පිළිබඳ නවතම සමීක්‍ෂණය පසුගියදා අවසන් කළ අතර, එහි අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබේ.

 

42.31%
17.27%
32.76%