42.31%
17.27%
32.76%
October 3, 2024

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා ලෙස අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.

පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී ඇත්තේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන්වන්නේද නැතිද යන්න තීරණය වන බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ඒ සඳහා පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාව, පූරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියා තෘප්තිමත් නොවීම බලපා ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දී තිබේ.

එම නිසා කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවාවක් ඇති කිරීම සඳහා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් කියා සිටියේය.

රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය ජනාධිපතිවරයා ලෙස තමන් රකින බවත් රාජ්‍ය සේවකයන්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.

පුරවැසියා තෘප්තිමත් කිරීම සදහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අවශ්‍ය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය සේවය තුළ මෙතෙක් පැවති දේශපාලන පළිගැනීම්, ස්ථාන මාරු කිරීම් හා උසස්වීම් ලබා නොදීම් වැනි ක්‍රියා තම රජය යටතේ සිදු නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන් ද ජනතාව තෘප්තිමත් වන ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු බව සඳහන් කළේය.

ඉදිරි දින හතළිහක කාලය සංක්‍රාන්තික කාලයක් වන අතර එම කාලය තුළ රාජ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන යෑමට රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මෙම අමාත්‍යංශ සඳහා නව ඇමැතිවරුන් පත් කරන බවටද ජනාධිපතිවරයා ඉඟි පළ කර ඇත.

මෙතෙක් සිටි නායකයන් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර එවැනි මාධ්‍ය සංදර්ශන තමන් පිළි නොගන්නා බවත් රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

42.31%
17.27%
32.76%