42.31%
17.27%
32.76%
October 3, 2024

දෙවැනි ලෝක යුද සමයේ එක්සත් ජනපදය විසින් හෙළන ලද බවට සැක කෙරෙන, ජපාන ගුවන් තොටුපළක වළ දමා තිබූ බෝම්බයක් ඊයේ( බදාදා) පුපුරා ගොස් තිබේ.

එම පිපිරීමෙන් ගුවන් පථයක මීටර් හතක පමණ ආවාටයක් ඇති වූ අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති නමුත් ගුවන් ගමන් 80කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබිණි.

පිපිරීම සිදුවන අවස්ථාවේ ගුවන් යානයක් ඒ අසල නොතිබුණු බව වාර්තා වේ.

නිරිතදිග ජපානයේ Miyazaki ගුවන් තොටුපළේ දී පිපිරුණු මෙම බෝම්බය, දෙවැනි ලෝක යුද්ධ සමයේදී මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා “kamikaze” ගුවන් යානා වැළැක්වීම සඳහා හෙළන්නට ඇතැයි සැළකේ.

කෙසේවෙතත් තවත් පිපිරුම් තර්ජනයක් නොමැති අතර, පොලිසිය සහ ගිනි නිවන භටයන් එම ස්ථානය පරීක්ෂා කළ බව ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිමාසා හයාෂි පැවසුවේය.

ගුවන් තොටුපළ අද නැවත විවෘත කිරීමට ඉලක්ක කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ජපානයේ ආත්මාරක්ෂක බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් විසින් තහවුරු කරන ලද්දේ කිලෝග්‍රෑම් 226කට වැඩි එක්සත් ජනපද බෝම්බයක් මෙලෙස පිපිරී ඇති බවයි.

බෝම්බය හෙළුවේ කවදාද යන්න තහවුරු කළ නොහැකි බව ප්‍රකාශ කෙරෙන අතර, ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ එය දෙවැනි ලෝක යුද්ධ සමයේදී හෙළන ලද්දක් විය හැකි බවයි.

කියුෂු දූපතේ ගිනිකොන දෙසින් පිහිටා ඇති මියසාකි ගුවන් තොටුපළ 1943 දී ජපන් නාවික හමුදා කඳවුරක් ලෙස ඉදිකරන ලදී.

එක්සත් ජනපදය විසින් හෙළන ලද අනෙකුත් පුපුරා නොගිය ද්‍රව්‍ය 2009 සහ 2011 දී අසල ඉදිකිරීම් ස්ථානයක තිබී සොයා ගෙන තිබිණි.

එලෙස පුපුරා නොගිය බෝම්බ රට පුරා වළලා ඇත.

රොයිටර්ස් පුවත් ඒජන්සිය පැවසුවේ 2023 වසර තුළ ටොන් 41ක් බරැති බෝම්බ 2,348ක් විනාශ කර ඇති බවයි.

42.31%
17.27%
32.76%