42.31%
17.27%
32.76%
September 29, 2024

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය යළි නිකුත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ විවේචනයට තුඩු දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලන සමයේදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක වූ මෙම පිළිවෙත, බලයට පත් වන සෑම රජයන් විසින් අඛණ්ඩව කරගෙන යනු ලැබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකාවක් වන අම්බිකා සත්කුනනාදන් X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් අදාළ පියවර සම්බන්ධයෙන් සිය කලකිරීම ප්‍රකාශ කර ඇත.

ඇය එම පියවර විවේචනය කරමින් කියා සිටියේ ජනාධිපති අනුර කුමා දිසානායක මහජන ආරක්‍ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය මහජන සාමය පවත්වා ගැනීම සඳහා සන්නද්ධ හමුදාවන් කැඳවීම එය අනවශ්‍ය වන අතර එය පොලිසියේ මිලිටරිකරණය පිළිබඳ අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන බවයි.

එම 12 වැනි වගන්තිය සත්කුනනාදන් විස්තර කරන්නේ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අර්ධ හදිසි තත්ත්වයක් පවත්වා ගෙන යෑම, ව්‍යතිරේක තත්ත්වය සාමාන්‍යකරණය කිරීම සහ විධායක බලතල අනිසි ලෙස භාවිත කිරීමට ඉඩ සලසන යාන්ත්‍රණයක් ලෙසයි.

එම ගැසට් පත්‍රය වහාම අවලංගු කරන ලෙස ද ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

කෙසේවෙතත්, මෙම තීරණයට සමහර සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ සහයෝගය ලැබී ඇති අතර, මහ මැතිවරණයක් ඉදිරියේ මහජන ආරක්ෂාව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු හමුදාව යෙදවීම නතර කළ හැකි බව ඔවුන් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%