42.31%
17.27%
32.76%
September 28, 2024

සෞදියේ නිවසක වසර 28කට ආසන්න කාලයක් සිරකර සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වන තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලිඛිතව දන්වා යවා ඇති බවයි.

වසර 28 කට ආසන්න කාලයක් සෞදියේ නිවසක සිරකර සිටි ඇගල්ල මුහන්දිරම්ලාගේ කමලාවතී පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණියේ ය.

ඇය සේවය කළ නිවසේ හාම්පුතා ඇයව දිවයිනට එවා ඇත්තේ, තාවකාලික විදෙස් ගමන් බලපත්‍රයක් මගින් ය.

මේ වන විට 75 වැනි වියේ පසුවන ඇය හිඳගහවැව, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

කුලියාපිටිය ප්‍රදේශයේ රැකියා නියෝජිතායතනයක් හරහා ඇය සෞදියේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ, 1995 මැයි 17 වැනිදා ය.

ඊට වසරකට පසු පවුල හා ඇය අතර සන්නිවේදන සබඳතා බිඳවැටී තිබේ.

ඇයගේ පුත්‍රයා පැවසුවේ, සිය මව පිළිබඳ කිසිඳු තොරතුරක් නොවීම සම්බන්ධයෙන් 1999 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල කළ බවයි.

සෞදියේ ඇය සේවය කළ නිවසේ හාම්පුතා වසර 29 කට පසු පසුගිය 10 වැනිදා ඇයව රහසිගතව දිවයිනට එවා ඇත්තේ, ඇය දැඩිව රෝගාතුරව සිටියදී ය.

මේ වන විට කමලාවතීගේ මතකය ගිලිහී ගොස් ඇති අතර ඇවිදීමටද වාරු නැත.

දිවයිනට පැමිණ දින තුනක් ගුවන් තොටුපොළ සහන පියසේ රැඳී සිට ඇති ඇය ලබාදුන් තොරතුරු මත පසුගිය 13 වැනිදා දරුවන් පැමිණ ඇයව නිවෙස වෙත රැගෙන ගොස් තිබේ.

කමලාවතීගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරදෙන ලෙසයි.(News 1st)

42.31%
17.27%
32.76%