42.31%
17.27%
32.76%
September 27, 2024

වසර 80,000කට වරක් පෙනෙන වල්ගා තරුවක් හෙට සවස හිරු බැස යෑමෙන් පසු මෙරට ජනතාවට පියවි ඇසට පෙනෙන බව අභ්‍යවකාශ විද්‍යාඥයකු සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසයි.

ඔහු පැවසුවේ C/2023 A3 (Tsuchinshan-ATLAS) ලෙස නම්කර තිබෙන එම වල්ගා තරුව සූර්යයා සමඟ සමීපතම හමුවීමට ළඟාවෙමින් තවත් දීප්තිමත් වෙමින් පවතින බවයි.

“එය පියවි ඇසට දුර්වල නොපැහැදිලි තිතක් ලෙස පෙනුනද, දුරේක්ෂයක් හෝ දුරදක්නයක් මගින් එම තරුවේ විශ්මය ජනක වලිගය විචිත්‍රවත් ලෙස දැකගන්න පුළුවන් වෙයි. අහස නිරීක්ෂණය කරන්නන්ට අද සවස හිරු බැස යෑමෙන් පසු මෙම දුර්ලභ ආකාශ සිද්ධිය දැක ගත හැකියි,” යනුවෙන් විද්‍යාඥ වීරසේකර පැවසීය.

“නැගෙනහිර අහසේ හිරු උදාවට මිනිත්තු 45කට හෝ පැයකට පෙර සිට වල්ගා තරුව දර්ශනය වෙයි . මෙම සිදුවීම අසාමාන්‍ය වන්නේ මෙම වල්ගා තරුව වසර 80,000ක කක්ෂගත කාලයක් සහිත දිගු-කාලීන වල්ගා තරු ගණයට අයත් වීම නිසයි,” යනුවෙන් ඔහු පැවසීය.

“මෙයින් අදහස් වන්නේ එම වල්ගා තරුව සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට වසර 80,000ක් ගත වන බව. එය අවසන් වරට සූර්යයාට සමීපව ගමන් කළේ මීට වසර 80,000කට පෙර, මෙය ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක්,” යැයි ද ඔහු සඳහන් කළේය.

42.31%
17.27%
32.76%