42.31%
17.27%
32.76%
September 27, 2024

ශ්‍රී ලංකාවාසී ජනතාව නව යුගයකට අවතීර්ණ වී සිය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියමින් සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong පවසයි.

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් කොළඹදී පවතී උත්සවයේදී චීන තානාපතිවරයා , මෑතකදී සාර්ථකව පවත්වන ලද ජනපතිවරණය සම්බන්ධයෙන් මෙරට සිටින සහෝදර ජනතාවට නැවත වරක් සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ද සඳහන් කර තිබේ.

චීනයේ සහ අනෙකුත් මිත්‍ර රටවල සහයෝගය සහ සහාය ඇතිව නව ජනාධිපති දිසානායකගේ ප්‍රබල නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ කඩිසර, බුද්ධිමත්, වීරෝදාර ජනතාව අනිවාර්යයෙන්ම සියලු ආකාරයේ අවදානම් සහ අභියෝග ජයගනු ඇතැයි තමා තරයේ විශ්වාස කරන බවද තානාපතිවරයා සඳහන් කර තිබේ.

‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ලෙස ශ්‍රී ලංකාව අනාගතයේ දී වඩාත් දීප්තිමත් වනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කරයි.

අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ සදාකාලික මිත්‍රත්වය මත පදනම් වූ චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියේදී ඉහළ මට්ටමකින් අඛණ්ඩව විශාල ප්‍රබෝධයක් ලබා ගනු ඇති බව ද චීන තානාපති Qi Zhenhong පවසයි.

අන්තර්ජාතික තත්ත්වය කෙසේ වෙනස් වුවද සම්ප්‍රදායික හෝ සාම්ප්‍රදායික නොවන තර්ජනවලට මුහුණ දුන්නද චීන රජය සහ ජනතාව සැමවිටම ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ ස්ථිරව සිටින බව ඉතිහාසය සනාථ කර ඇති බවත් චීනය ශ්‍රී ලංකාවට විශ්වාසවන්ත මිතුරකු සහ විශ්වාසවන්ත සහකරුවකු ලෙස සැමවිට සිටින බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වඩ වඩාත් සමීප වන තරමට ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව, සංවර්ධනය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමටත්, කලාපීය හා අන්තර්ජාතික කටයුතුවලදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව වඩාත් දක්ෂ වනු ඇති බව පුන පුනා පෙන්වා දී ඇති බවත් චීන තානාපති Qi Zhenhong වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%