42.31%
17.27%
32.76%
September 25, 2024

දශක කිහිපයක් තිස්සේ නැගූ හඬට තිරසාර ලෙස සවන් දී ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ වැඩපිළිවෙළට හුස්ම පෙවූ මෙරට සියලු දෙනාට ප්‍රණාමය පුද කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ අද ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයේදීයි.

සෑම ක්ෂේත්‍රයකටම ව්‍යුවහාත්මක වෙනස්කම් සිදු කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීමට අවශ්‍ය බව දැඩිව විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

ඒ සඳහා දිගුකාලීන හා මධ්‍යකාලීන සැලසුම් සකස් කිරීමට පෙර අනුගමනය කල යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට නව රජය කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසීය.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙන යාමට අදහස් කරන බව ද ඔහු පැවසුවේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අදාළ ණය හිමි පාර්ශව සමග සාකච්ඡා කර ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර අදාළ ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

ජාතිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජනතාව ජනවරම ලබාදීමේදී අපේක්ෂා කළ එක් ප්‍රධාන කරුණක් වූ මෙරට දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීම බවයි.

අද වනවිට එය භාවිතාවෙන් ඔප්පු කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

දේශපාලනයේදී බලය ලබා ගැනීම වෙනුවෙන් සංවිධාන වීම සහ ඒ වෙනුවෙන් උපායමාර්ග ගැනීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබාදීමට සූදානම් බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලුදෙනාට ශ්‍රී ලාංකික පුරවැසියන් කියා අභිමානයෙන් ජීවත්විය හැකි ප්‍රායෝගික රටක් මේ රට අසමත් වන බව ද ඔහු පැවසීය.

ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය, ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කිසිසේත් මැලි නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සියලු පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරන බවත් ”නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන සංකල්පයට යළි ජීවය ලබා දෙන බව ද ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසීය.

ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.

දැනුම ආකල්ප සහ කුසලතා දියුණු කරමින් තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් නිර්මාණය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඕනෑම රටකට ගිය විට එම රට පිළිබඳ චිත්‍රයක් මවා ගත හැක්කේ ගුවන් තොටුපලට පිවිසීමේදී බව ජනාධිපතිවරයා පැවසුවේය. අපේ රටේ ප්‍රතිරූපයත් ඒ ආකාරයෙන් පැහැදිලිව පෙනෙන සේ ගොඩනැගීමට සැලසුම් සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

සමාජය තුළ හා ආයතන තුළ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

නව රජය යන ගමනේදී සමාජයේ කිසිඳු කණ්ඩායමක් මගනොහරින බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

මේ රට ගොඩනැගීම උදෙසා අවංකව සම්බන්ධ වන සියලුදෙනාට දොරටු විවෘත බව ද ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%