42.31%
17.27%
32.76%
September 25, 2024

නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහ දේශපාලන මැදිහත්වීම්වලින් තොරව පොලිසිය ස්වාධීනව ක්‍රියාත්මක වන බවට සහතික කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව නව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පැවැසීය.

විජිත හේරත් මහජන ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස අද නිල වශයෙන් වැඩ භාරගත්තේය.

අමාත්‍යාංශය දැනට මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම බව ඔහු පැවැසීය.

විදේශ ගමන් බලපත්‍ර ගැටලූව විසඳීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බව ඔහු කියාසිටියේය.

“විදේශ ගමන් බලපත්‍ර පෝලිම් හැකිතාක් ඉක්මණින් අවසන් කිරීමට සාකච්ඡා කරමින් පවතිනවා. නව විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ඔක්තෝම්බර් 15 සහ 20 අතර කාලය තුළ හඳුන්වාදෙනවා. ඒ වන විට මෙම ගැටලුව විසඳීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විකල්ප ක්‍රම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද බලධාරීන්ට දන්වා තිබෙනවා.” ඔහු පැවැසීය.

පොලිසිය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය හීන වී ඇති බව පිළිගත් හේරත් එම විශ්වාසය යළි ඇති කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

“නව අමාත්‍යවරයා ලෙස, මගේ ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ, මහජනතාව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තැබීම සහතික කිරීමේ වගකීම අපි දරයි. විශ්වාසය යළි ගොඩනැගීමට කාලය ගතවනු ඇතැයි මම දනිමි,” ඔහු පැවසීය.

නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේදී මීට පෙර සිදුවී ඇති වැරදි සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඇමැතිවරයා උසස් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේදී මීට පෙර වැරදි සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙස ද ඇමැතිවරයා උසස් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

“නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී ස්වාධීනව කටයුතු කිරීමට නිලධාරීන්ට නිදහස ලබාදෙනවා. දේශපාලන ඇඟිලි ගැසීම් නොවිය යුතුයි. අපේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධ කරගෙන බලපෑම් නොකරන බවට අපි සහතික වෙනවා,” ඔහු පැවසීය.

පොලිසිය තුළ ස්ථාන මාරුවීම් සහ පත්වීම් සිදුකළ යුත්තේ දේශපාලන අවශ්‍යතා මත නොව සේවා සහ පරිපාලන අවශ්‍යතා මත පමණක් බව ඇමැතිවරයා පැවසීය.

“පොලිසියට වගකීම තියෙන්නේ කාටවත් ගැති නොවී, අපක්‍ෂපාතීව තම රාජකාරිය ඉටුකිරීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමයි. අපේ හිතවත් කෙනකු වරදක් කළත් නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%