42.31%
17.27%
32.76%
September 25, 2024

ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ හිස්බුල්ලා සටන්කාමීන් ද ඊයේ උතුරු ඊශ්‍රායලයේ හමුදා මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාර, දශක ගණනාවකට පසු ලෙබනනයට ඊශ්‍රායලයෙන් එල්ල වූ මාරාන්තික ප්‍රහාර මාලාව බව පැවසෙයි.

ලෙබනන් බලධාරීන් පවසන පරිදි එම ප්‍රහාර මාලාව හමුවේ ළමුන් ද ඇතුළුව පුද්ගලයන් 500 කට අධික පිරිසක් මියගොස් ඇත.

එක් ලෙබනන් නිලධාරියෙක් පැවසුවේ, 1975-1990 සිවිල් යුද්ධයෙන් පසු ලෙබනනයේ ප්‍රචණ්ඩත්වයෙන් වැඩිම දෛනික මරණ සංඛ්‍යාව එය බවයි.

එමෙන්ම දකුණු දිග ලෙබනනයේ සිටින දසදහස් ගණනක් ආරක්ෂාව පතා බේරූග් අගනුවර වෙත පළා ගොස් ඇතැයි වාර්තා වෙයි.

කෙසේවෙතත් හිස්බුල්ලා සංවිධානය පැවසුවේ ඊශ්‍රායලයට කිලෝමීටර 60ක් (සැතපුම් 37ක්) දුරින් පිහිටි පුපුරන ද්‍රව්‍ය කම්හලක් ඇතුළුව ඊශ්‍රායල හමුදා ඉලක්ක කිහිපයක් ඉලක්ක කර එක රැයකින් ප්‍රහාර එල්ල කළ බවයි.

උතුරු ඊශ්‍රායලයේ අෆුලා නගරය ආසන්නයේ පිහිටි මෙගිද්දෝ ගුවන්තොටුපළට තුන් වතාවක් ප්‍රහාර එල්ල කළ බව ද හිස්බුල්ලා සංවිධානය පවසයි.

කෙසේවෙතත් ඊශ්‍රායල හමුදාව පැවසුවේ සඳුදා ලෙබනනයේ දකුණ, නැගෙනහිර සහ උතුරු ප්‍රදේශයේ පිහිටි හිස්බුල්ලා සංවිධානයේ රොකට් විදින, අණදෙන ස්ථාන සහ සටන්කාමී යටිතල පහසුකම් ඇතුළු ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බවයි.

ඒ අනුව ඊශ්‍රායල ගුවන් හමුදාව දකුණු ලෙබනනයේ සහ බෙකා නිම්නයේ හිස්බුල්ලා ඉලක්ක 1600කට පමණ ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%