September 24, 2024

2022 වසරේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අවසන් වී තිබේ. 2022 මැද භාගයේ මාස තුනකට වැඩි කාලයක් පැවති අරගලය විරෝධතා ව්‍යාපාරය තරුණයන් විසින් මෙහෙයවනු ලැබූ අතර, එය රටේ සෑම දෙසකින්ම හා සමාජයේ සෑම ස්ථරයකින්ම පැමිණි දසදහස් ගණනක ජනතාවගේ බලවත් විරෝධතා ව්‍යාපාරයක් බවට පත්විය. අවසානයේදී එය එවකට සිටි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයෙන් පහකිරීමට සමත් විය. එහෙත් ඔවුන් බලයෙන් පහකළ ජනාධිපතිවරයාට සහ රජයට තවත් වසර දෙකකට වැඩි කාලයක් අදාළ ධුර කාලය ඉතිරිව තිබුණු බැවින් (පිළිවෙලින් 2019 සහ 2020 දී තේරී පත්ව සිටි නිසා), විරෝධතාකරුවන්ට හැකිවූයේ ආණ්ඩුවට ඉල්ලා අස්වීමට බලකිරීම පමණි. ඊළඟ මැතිවරණය පැවැත්වෙන තෙක් ඔවුන්ට තම කැමැත්තේ ආණ්ඩුවක් පත්කර ගැනීමට නොහැකි විය. එම මැතිවරණය පැවැත්වූයේ පසුගිය සැප්තැම්බර් 21 වැනිදාය.

දැන් තවත් සුවිශේෂී සිදුවීමක් ලෙස, ශ්‍රී ලාංකික ජනතාව 2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ප්‍රජාතාන්ත්‍රික වරමක් ලබාගත් නව ජනාධිපතිවරයකු තෝරාගෙන ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක පැමිණෙන්නේ 1948 දී යටත් විජිත පාලනයෙන් නිදහස ලැබූ දා සිට ශ්‍රී ලංකාවේ දේශපාලන ජීවිතය විසින් ආධිපත්‍යය දැරූ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට පිටතිනි. අනෙකුත් අපේක්ෂකයන්ට වඩා අනුර කුමාර දිසානායක නියෝජනය කරනුයේ ‘පද්ධති වෙනසක්’ සහ දේශපාලනයේ නව මුහුණුවරක් ඉල්ලා සිටි 2022 අරගල විරෝධතා ව්‍යාපාරයේ ආත්මයයි. මේ ඉල්ලීම් දෙකටම පදනම් වූයේ දූෂිත පාලන තන්ත්‍රය පිරිසිදු කළ යුතු බවට වූ විශ්වාසයයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය පිළිබඳ සාක්ෂියකි. එය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට තරඟ කිරීමට අවශ්‍ය සියලුදෙනාට ඉදිරියට ඒමට ඉඩ ලබා දී ඇත. 2019 පැවති පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර දිසානායකට ලබාගත හැකි වූයේ සියයට තුනක ප්‍රතිශතයක් පමණි. මෙවර, අවසානයට බලයේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු අපේක්ෂකයින් 38 දෙනකුගෙන් සමන්විත තරඟයකදී, ඔහුට පළමු ගණන් කිරීමේදී ඡන්දයෙන් සියයට 43ක් ලබාගැනීමට හැකිවිය. ඡන්දයෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකිවීම නිසා දෙවැනි වටයේ ගණන් කිරීමකට යෑමට සිදුවුවද, ඔහු මිලියනයකට වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පහසු ජයග්‍රහණයක් ලබාගත්තේය.

ද්විත්ව ඉල්ලීම්

ජනාධිපති අනුර දිසානායකගේ සුවිශේෂී නැගීමට සහ රටේ ජනාධිපති හා රාජ්‍ය නායකයා බවට පත්වීමට මග පෑදූ විශේෂ ලක්ෂණ දෙකක් තිබිණි. පළමුවැන්න වූයේ, 2022 මාර්තු මාසයේදී රට මුහුණදුන් ආර්ථික කඩාවැටීමයි. එවිට රටට විදේශ විනිමය හිඟ වී, අන්තර්ජාතික වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කිරීමට සිදුවිය. ඖෂධ හා ගෘහස්ථ ගෑස් හිඟය, ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට සෑම වර්ගයේම වාහන කිලෝමීටර ගණන් දිගු පෝලිම් සහ අහස උසට නැගුණු මිල ගණන් ඇතුළු ජනතාවගේ දුක් වේදනා හේතුවෙන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් වටා සියල්ල කේන්ද්‍රගත විය. එනම්, රට තුළ මුල් බැසගත් දූෂණයෙන් මිදීම සඳහා පද්ධති වෙනසක් සහ දේශපාලන ක්ෂේත්‍රයට නව මුහුණු එක්කිරීමයි.

විරෝධතා ව්‍යාපාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට ඉල්ලා අස්වීමට බලකිරීමට හැකි විය. එහෙත් ඔවුන්ට ඔහු වෙනුවට ඔවුන්ගේ තෝරා ගැනීමේ පුද්ගලයෙකු පත්කර ගැනීමට නොහැකි විය. ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කර ගනු ලැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තේරී පත්විය. නව ජනාධිපතිවරයා අරගලයේ ප්‍රධාන ඉල්ලීම් දෙකට අනුකූල නොවීය. ඒ වෙනුවට ඔහු රටේ ආර්ථික කඩාවැටීම නතර කිරීමට සහ විරෝධතා ව්‍යාපාරයේ බාහිර ප්‍රකාශන මර්දනය කිරීම සහතික කරමින් ආර්ථික ස්ථායීතාවය යළි ඇති කිරීමට සමත් විය. එහිදී පද්ධති වෙනසක් හෝ රජයේ මුහුණුවල සැළකිව යුතු වෙනසක් සිදුනොවීය. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් අඛණ්ඩව රැඳී සිටියහ. එසේම විරෝධතා ව්‍යාපාරය සහ මුළු රටම විශ්වාස කළ පරිදි පැතිර තිබූ දූෂණයද පෙර සේම දිගටම පැවතිණි.

ජනාධිපති අනුර දිසානායක දීර්ඝ කාලීන නායකයකු වශයෙන් කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ වඩාත් පුළුල් පදනමක් සහිත නව ජාතික ජන බලවේගය (NPP) සඳහා ලැබුණු සහයෝගයේ තියුණු ඉහළ යෑම පිළිබිඹු කරන්නේ, පද්ධති වෙනසක් සහ දේශපාලනයේ නව මුහුණු සඳහා වන ජනප්‍රිය අපේක්ෂාවයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදුන් ති මහත් ජනතාව ජනාධිපති අනුර දිසානායක තුළ දැක ඇත්තේ අරගල විරෝධතාවල ඉටු නොවූ ඉල්ලීම් සපුරාලීමේ හොඳම බලාපොරොත්තුවයි. කෙසේවෙතත්, නව ජනාධිපතිවරයා මුහුණදෙන අභියෝග දැවැන්ත වනු ඇත. ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයක පවතී. 2028 දක්වා හිඟ අන්තර්ජාතික ණය බොහොමයක් ගෙවීම අත්හිටුවා තිබියදීත්, රජයේ වියදම් එහි ආදායම ඉක්මවා යමින් පවතී. එහෙත් මහජනතාවගේ අපේක්ෂා ඉහළ අගයක පවතිනු ඇත. ජනතාව අතර කැපවීම සහ වෙනස සඳහා ඇති අධිෂ්ඨානය සහිත නව ජනාධිපතිවරයාට ඉදිරි අනාගතයේදී තත්ත්වය වෙනස් කර ඔවුන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරයි.

අවශ්‍ය ශක්තිය

පවතින පද්ධතිය වෙනස් කිරීමේ උත්සාහයන් තුළින් ඇතිවිය හැකි ප්‍රතිරෝධය හේතුවෙන් නව ජනාධිපතිවරයාට ඇති අභියෝගය තවදුරටත් සංකීර්ණ වනු ඇත. දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම ආණ්ඩුවේ, රාජ්‍යයේ සහ සමාජයේ සෑම මට්ටමකම කොටසක් බවට පත්ව ඇති අතර, ඒවා වෙනස් කිරීමට දරන උත්සාහයන් නිසැකවම විවෘත සහ සැඟවුණු ප්‍රතිරෝධයන් ජනනය කරනු ඇත. එක්සත් ජනපදයේ 7 වැනි ජනාධිපති ඇන්ඩෘ ජැක්සන් (1829-37) පැවැසුවේ “සමාජය යනු අශ්වයෙක් නොව කොටළුවෙකි. අධික ලෙස පීඩනය කළහොත්, එය එහි පැදවුම්කරු පිටින් විසිකරනු ඇත” යනුවෙනි. මෙම රූපකය අවධාරණය කරන්නේ සමාජ වෙනස්කම් ඉතා වේගයෙන් බලෙන් සිදුනොකළ යුතු බවයි. එසේ කළහොත්, එය අනපේක්ෂිත ලෙස ප්‍රතිචාර දක්වමින්, එවැනි පීඩනයට විරෝධය දැක්විය හැකි හෝ ප්‍රතික්ෂේප කළ හැකිය. තවද, පක්ෂ දේශපාලන මට්ටම ඇතුළු සෑම මට්ටමකම වෙනස්කම් සඳහා පුළුල් පදනමක් සහිත සහයෝගයක් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවක්ද පවතී.

නව ජනාධිපතිවරයා සිතේ තබාගත යුතු තවත් කරුණක් වන්නේ ඡන්ද දායකයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඔහුට ඡන්දය නොදුන් බවත්, එම සමාජ කොටසේ අදහස් සහ බියවීම්ද සැළකිල්ලට ගතයුතු බවත්ය. මෙය විශේෂයෙන්ම ජාතික හා ආගමික සුළුතරයන්ට අදාළ වේ. ජනාධිපති අනුර දිසානායකට ඡන්දයෙන් ප්‍රමුඛත්වයක් ලබාගැනීමට නොහැකි වූ ප්‍රදේශ ජාතික හා ආගමික සුළුතරයන් ප්‍රමුඛ වූ ප්‍රදේශ බව පැහැදිලිව දක්නට ලැබේ. 1987 දී 13 වැනි සංශෝධනය ඇති කිරීමේදී එයට විරුද්ධ වීමේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය පිළිබඳ මතකය, බලය විමධ්‍යගත කිරීමට දිගටම පවතින විරෝධය, ජාතික හා ආගමික අනන්‍යතාවයන්ට ඔවුන්ගේම අවකාශයක් සහ ස්වායත්තතාවයක් අවශ්‍ය බව පිළිගැනීමට ඇති අකමැත්ත යන කරුණු තනි සූත්‍ර ප්‍රවේශයක් වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් විසඳිය යුතු ගැටලු වේ.

2014 දී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බවට පත්වූ දා සිට අනුර කුමාර දිසානායක ආණ්ඩු සහ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති පිළිබඳව වඩාත්ම කථන හැකියාවෙන් යුතු සහ බුද්ධිමත් විවේචකයන් අතරින් කෙනකු විය. ඔහු සරල හා පැහැදිලි භාෂාවෙන් කතා කරමින්, අවශ්‍ය තැන්හිදී සහාය දක්වමින් කටයුතු කළේය. 2015-2019 කාලය තුළ පාලනයේ ප්‍රයත්නයන්ට ඔහු සුළු සහයෝගය ලබාදුන් විට සහ 2019 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයට විරුද්ධ වූ විට, ඔහු ‘රතු අලියා’ ලෙස හඳුන්වනු ලැබීය. මෙම විශේෂණය ඔහු එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පක්ෂයේ කොළ අලියා සංකේතය සමඟ සම්බන්ධ කළේය. ඔහුට ඡන්දය නුදුන් ජනතාව සහ ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් ‘සමෘද්ධිමත් ජාතියක් සහ අලංකාර ජීවිතයක්’ ගොඩනැගීම සඳහා විශ්වාසය දිනාගැනීමට අවශ්‍ය පසුබිම සහ ශක්තිය මෙයයි. ඔවුන් කතාකරන එක් රටක් යථාර්ථයක් බවට පත්විය යුතු නම්, මෙම දැක්මේ සහ සාමාන්‍ය ජන ජීවිතයේ සුළුතරයන් ඊට ඇතුළත් කිරීම වැදගත් වනු ඇත.

(ආචාර්ය ජෙහාන් පෙරේරා )

42.31%
17.27%
32.76%