42.31%
17.27%
32.76%
September 24, 2024

මේ ඡායාරූපයේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්නට අත දෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව. ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ දෙනෙක් මේ ඡායාරූපය එවමින් අහනවා තල්දූව වගේ දේශබන්දු තෙන්නකෝන්ලට කඩේ ගිය මාධ්‍ය සාක්චඡාවල ව්‍යාජ කතා කියපු තල්දූව ඇයි මෙතන ඉන්නේ කියලා.

මේ ගැන කරපු හොයා බැලීමකට දැන ගන්න ලැබුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක එම ස්ථානයට ගිහින් තියේනනේ අනාරාධිතවමයි කියලා.

ඔහු‌ගේ කාර්යාලය පිහිටා තිබෙන්නෙත් මහජන ආරක්ෂක අමාත්‍යංශය තිබෙන ගොඩනැගිල්ලේමයි.

ඒ නිසා ඔහු අනාරාධිතවම එතනට යන්න ඇති කියලයි දැනගන්න ලැබුණේ.

2021 දෙසැම්බර් මාසයේ දවසක මගේ හිතවත්ම නීතිඥවරයෙක් කෝල් එකක් දීලා කිව්වා තවත් නීතිඥවරයෙක් කතා කරයි කතා කරලා යම් දෙයක් කියයි ඒ ගැන බලන්න කියලා.

එතකොට වෙලාව රෑ 8ට විතර ඇති. ඊට ටික වෙලාවකට පස්සේ මට ඒ කියපු නීතිඥවරයා කතා කරලා කිව්වා ටිංකරිං ලසන්ත කියන පුද්ගලයාව යම අපරාධයකට සැකපිට කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යට‌තේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියනවා.

පොලිසිය ඔහුව රාත්‍රී ඝාතනය කරන්න සැලසුම් කරලා තියනවා කියලා.

ඒ අනුව මම ඒ අවස්ථාවෙම මානව හිමිකම් කොමිෂන් සභාවට කතා කළා.

ඒ වන විටත් මානව හිමිකම් කොමිසමට මේ නීතිඥවරයා ඒ බව දැනුම් දීලා තිබුණා. ඒ වගේම නීතිඥ සංගමයත් දැනුම්දී තිබුණා. මානව හිමිකම් කොමිසම සහ නීතිඥ සංගමය පොලිසියට දැනුම් දුන්නා ඔහුගේ ආරක්ෂාව සහතික කරන්න කියලා.

මම මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවට දැනුම් දුන්නා. මෙන්න මේ නිලධාරීන් ඔහුව රාත්‍රියට ඝාතනය කරන්න ඉන්නවා කියලා. ඉන් පසු මගේ සහෝදර මාධ්‍යවේදී ෆසීරුත් ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකට දැනුම් දුන්නා.

එදා රෑ 1ට විතර නින්දට ගිහින් පහුවදා උදේ ඇහැරෙද්දි ප්‍රවෘත්ති ඇලර්ට් ඇවිත් තිබ්බා එදා අලුයම ටිංකරිං ලසන්ත පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදි මරණයට පත්වුණා කියලා.

මේ ගැන මම තල්දූවට කතා කරලා ඇහුවා.

නීතිඥවරයකු ද වන ඔහු දුන්නු පිළිතුර තමයි එක එස්.එස්.පී කෙනෙක් තව කෙනෙක් මරන්න යද්දි මං කොහොමද එපා කියන්නේ කියලා.

එයාට ඒක කියන්ඩ බැරි නම් පොලිස්පතිට මේ බව දැනුම්දීම ඔබේ වගකීමක් නේද කියලා ඇහුවම තල්දූව දුන්නු පිළිතුර තමයි පොලිසිය නීතිය ක්‍රියාත්මක කළා විතරයි කියලා.

මේ වන විට මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කරලා තියනවා පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට අරගෙන ඝාතනය කරලා තියනවා එමගින් මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා.

අපි ප්‍රසිද්ධියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මේ ක්‍රියාව විවේචනය කිරීම නිසා ඔහු MediaLK එකට පොලිස් නිවේදන ලබාදීමත් කළේ නෑ. අපේ දුරකතනවලට ප්‍රතිචාර දක්වන එකත් නතර කළා.

ගාලුමුවදොර අරගලය කාලේ ඉතාම සාවද්‍ය තොරතුරු ජන ගත කරන්න ඔහු උත්සාහ කළා.

අපි පොලිසියේ දෙදෙනකුට නඩුවක් දාලා එම නඩුවට අදාලව අධිකරණය තීන්දුවක් ගත්තම ඒ ගැනත් සාවධ්‍ය තොරතුරු නිවේදනය කළා. ඒ තල්දූව ගැන.

තල්දූවට අනිත් පැත්තේ ලේකම්ට සැලියුට් කරන නිලධාරියා ගැනත් පොලිසියේ බොහෝ දෙනෙක් ඉන්බොක්ස් කරලා තිබ්බා.

ඔහු පොලිසියේ පරිපාලන අධ්‍යක්ෂවරයා කියලා තමයි තිබුණේ.

ඔහු ගැන සඳහන් කරලා තිබ්බා ඔහු නීතිය හරියට ක්‍රියාත්මක කිරීම නිසා වසර හතරක් ඇතුළත ස්ථානමාරුවීම් හයක් ලබපු නිලධාරියෙක් කියලා.

ඔහු දැඩි අසාධාරණයට ලක් වූ නිලධාරියෙක් කියලා පොලිසියේ කිහිප දෙනෙක්ම සඳහන් කළා.

ඔහු පරිපාලන අධ්‍යක්ෂ ලෙස කැඳවීමක් අනුව එම ස්ථානයට ගියා කියලත්, ඔහු ගාල්ලේ කොට්ඨාස භාර නිලධාරී සිටියදී නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම මත ඇඹිලිපිටියට ස්ථාන මාරු කළ බවත්, ඇඹිලිපිටියේ දී ද නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම නිසා යළි එම ප්‍රදේශයෙන් ද ඉවත් කර ඇති බවත් පොලිසියේ කිහිප දෙනෙක්ම සඳහන් කරලා තිබුණා.

මේ නිලධාරියා, ශානිලා වගේ හොඳ නිලධාරීන් ඉන්න පොලිසියෙම තමයි තල්දූවලා දේශබන්දුලා වගේ අයත් ඉන්නේ.

(ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්)

42.31%
17.27%
32.76%