42.31%
17.27%
32.76%
September 24, 2024

ජයග්‍රහණයෙන් පසු රටේ කලබල ඇතිවේ යැයි මතයක් නිර්මාණය කිරීමට විරුද්ධවාදීන් උත්සාහ කළත් අනුර කුමාර දිසානායක ජනපති ධූරයට පත්වීමෙන් පසු එවැනි කිසිදු කලබලයක් ඇති නොවුණු බවත්, එය රටට අවශ්‍යය වී තිබුණු ආදර්ශයක් බවත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවැසූහ.

රටේ ජනතාව විශාල බලාපොරොත්තු සමඟ මෙම ජයග්‍රහණය ලබා දී තිබෙන බවත්, එම ජනතා අපේක්ෂාවන් මුදුන් පැමිණවීම සඳහා කටයුතු කළ යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

ජනපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මල්වතු මහනාහිමියෝ මේ බව පැවසූහ.

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළහොත් රටේ කලබල ඇතිවේ යැයි මතයක් රටේ ඇති කරන්නට පිරිසක් දැඩි උත්සහය නිරත වූ නමුත් කිසිවෙකුට හෝ හිරිහැරයක් කරදරයක් නොවන ආකාරයෙන් ජයග්‍රහණයේ සතුට සමරන්නට පාක්ෂිකයන් කටයුතු කළේ යැයි මෙහි දී ජනාධිපතිවරයා මහනාහිමියන් හමුවේ පැවසුවේය.

අලුත් වෙනසකට මුලපුරන්නට අවශ්‍ය බව මේ රටේ ජනතාව තමන්ගේ ජනමතයෙන් පෙන්වා දී තිබෙන බවත් නීතිය, ආර්ථික ගමන් මග, දේශපාලන සංස්කෘතිය ආදි සියල්ලේ වෙනසක් සඳහා කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එම වෙනස්කම් ඇති කිරීමටය නම් ඊට අදාළ ක්ෂේත්‍ර වල නිරත වන අයගේ සහාය අවශ්‍යය බවත්, එම සහාය ලබාගැනීම අරමුණ බවත් ජනපතිවරයා කීවේය.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, කාරක සංඝ සභාව නියෝජනය කරන දොරණෑගම රතනපාල, තිබ්බටුවාවේ මේධංකර, මහවෙල රතනපාල යන නාහිමිවරු ද සහභාගි වූහ.

42.31%
17.27%
32.76%