September 24, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස නදීක සනත් කුමානායක පත්කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ රජිත් කිර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

ඔහු එමගින් අදාළ පත්කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මතය ඉදිරිපත් කර ඇත.

එම සටහන මෙසේයි;

අලුත් ජනාධිපති ලේකම්වරයා ලෙස නදීක සනත් කුමානායක පත්කිරීම පිළිබඳව සහාසික විවේචන රැසක් දුටිමි. එයට වෙනස් අදහසක් ඇති නිසා ලියමි.
ජනපති ජේ.ආර්.ජයවර්ධනගේ ජනාධිපති ලේකම් ඩබ්ලිව්. එම්.පී.බී.මැණික්දිවෙල ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොව, ඩී.ආර්.ඕ. ලෙස සේවය කළ නිලධාරියෙකි. ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ජනාධිපති ලේකම් මැණික්දිවෙල යැයි මතයක් ඇත. එජාප ඉතිහාසය ගැන පර්යේෂණ කළ මම එය සත්‍යයක් යැයි සිතමි.

නීතිඥ කේ.බාලපටබැඳි 1994 -2003 සමයේ ජනාධිපති ලේකම් ය. ඔහු පරිපාලන සේවයේ නිලධාරියකු නොවේ. ජනාධිපති ලේකම් ලෙස සුවිශේෂ කාර්ය භාරයක් කළේ යැයි කිව නොහැකි නමුත්, ඔහු වසර 9ක්ම අපූරුවට චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය දේ කරගෙන සිටියේය.

එදා මෙදා තුර ජනපති ලේකම්වරු 12ක් පත්වී ඇත. මැණික්දිවෙල (ජේ.ආර්.) බාලපටබැඳි (චන්ද්‍රිකා) සහ ජයසුන්දර (ගෝඨාභය) තිදෙනා හැර ඉතිරි 9 දෙනාම ශ්‍රී ලංකා පරිපාලන සේවයේය.

අමතක නොකළ යුතු කරුණ නම්, 76 වසර ශාපයට පරිපාලන ඇතුළු ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන් ද වගකිව යුතු බවට මතයක් රටේ ඇති බවයි. අනුර කුමාර ජනපතිතුමන්ට 76 වසරක ශාපය අවසන් කිරීමට පරිපාලන සේවයෙන් පිටත නිලධරයකු පත් කර ගැනීමට – නව අත්හදා බැලීමකට, ජනවරක් ඇති බව විවේචකයන් මතක තබා ගත යුතුය.

ජනපති ලේකම් ධුරයට නොගැළපෙන පුද්ගලයන් පත්වීම පිළිබඳ ඛෙදවාචකයකි. පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයෙකු වූ පී.බී.අබේකෝන්ගෙන් (2015 -2017) මම එය අත් දුටුවෙමි.

ජනපති ලේකම් ධුරයට පරිපාලන සේවයේ අයකුම පත් කර ගත යුතු යැයි නීතියක් හෝ ව්‍යවහාරයක් නැත. දක්ෂ කාර්යභූර අයකු පමණක් නොව විශ්වසනීය පුද්ගයකු ද විය යුතුය. ජනපතිවරයාගේ අදහස ක්‍රියාවට නැංවිය හැකි පමණක් නොව, බොහෝ විට ජනපතිවරයාගේ තීරණයක ආදීනව කියාදිය හැක්කකු ද, විකල්ප සහ ප්‍රතිඑල පෙන්වාදිය හැක්කකු ද, උපක්‍රමශීලියකු ද විය යුතුය.

කේ.එච්.ජේ.විජේදාස සහ ආර්.ප්‍රේමදාස යනු ගහක පොත්ත සහ කඳ අතර සම්බන්ධයක් තිබූ දෙදෙනෙකි.

කේ.බාලපටබැඳි සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යනු ඉඩම් කොමිෂන් සභාවේ සිට එකට වැඩ කළ දෙදෙනෙකි. අගමැති ලේකම් ද වූවේය.

ලලිත් වීරතුංග සහ මහින්ද රාජපක්ෂ සම්බන්ධය යුග – යුග ගණන් බැඳුනකි.

මෛත්‍රීපාල සිරිසේන සහ අබේකෝන් සම්බන්ධනය පොළොන්නරු යුගය දක්වා ගැටගැසුනකි.

මෛත්‍රිපාල සිරිසේන සහ ඔස්ටින් ප්‍රනාන්දු සම්බන්ධය පොළොන්නරු ග්‍රාම සේවක – දිසාපති යුගය දක්වා බැඳුනකි. (උපහාසයක් නොවේ)

ගාමිණී සෙනරත් හා රාජපක්ෂ පවුල අතර සම්බන්ධය ඥාතීත්වය ඉක්මවා ගිය එකකි.

රනිල් වික්‍රමසිංහ සහ ඊ.එම්.එස්.බී. ඒකනායක අපගේ අවසන් ජනපති ලේකම් අතර සම්බන්ධය වසර තිහකටත් වඩා වැඩිය.

ඉතිහාසය පුරා ජනාධිපති ලේකම්වරුන්ට ජනපතිවරුන්ගේ අතිශය සමීපතම, විශ්වසනීයම හිතවතුන් විය. ඔවුන්ගේ සාර්ථකත්වය ඒ මත රැදී තිබිණි. අනුර කුමාර ජනපතිතුමාට එය අකැප නැත. කැලණියේ උපාධිධරයකුවීම, සමකාලීනයකු වීම, දිගු කාලීන ඇසුරක් තිබිම හෝ ජනපති ලේකම්කමට සුදුසුකමකි.
තමන්ට විශ්වාස අයෙකු මිස, කොතරම් දක්ෂයෙකු වුවත්, අනුර කුමාරගේ හද ගැහෙන රිද්මය නොදන්නා නිලධාරියකුට විශිෂ්ට ජනපති ලේකම්වරයකු වීමට නම් නොහැකිය.

අනුර කුමාර මේ රටේ බොහෝ දෙනෙකුට සහෝදරයෙකි. මිතුරෙකි. මග තොටේ කරට අත දමාගත් සහෘදයෙකි. එකට වඩේ එකක් කා, පෙළපාළි ගිය සටන් සගයෙකි. ඇහුම්කන් දෙන්නෙකි. දැන් ඔහු රටේ ජනපතිය. ජනපති ලේකම් ධුරයට පත් විය යුත්තේ කවුද, පත් නොවිය යුත්තේ කවුදැයි උපදෙස් දෙන්නට කාඩර්වරුන්, කැම්පස් මිතුරන්, අලුත් මිතුරන් තරම් නොවේ. ඔහුටත්, රටටත් අගතියක් වන තුරු බලා සිටින පිරිසට නම් එයට කිසිදු අයිතියක් නැත.

පරිපාලන සේවයේ නොවන අයකුට ජනපති ලේකම් තනතුර ඛේදවාචකයක් විය හැකි බවට පුහු සමාජ මතයක් ඇත. මහ බැංකුවෙන් පැමිණ ගෝඨාභය රාජපක්ෂගේ ජනපති ලේකම් වූ ආචාර්ය පී.බී.ජයසුන්දර නිසා මේ මතය මිනිස් සන්තානයේ තැම්පත් විය. වසර දෙකක් ජනපති කාර්යාලයේ නිලධාරියකු වූ මට නම්, ජනපති ගෝඨාභයට, පී.බී.ජයසුන්දර යනු කවුදැයි අබමල් රේණුවක තරමට හෝ අවබෝධයක් නොතිබූ බව නම් සහසුද්දයෙන්ම දැනී ඇත. එය ගෝඨාභයගේ ද, රටේ ද විනාශයට හේතු විය. එවැනි අවදානමක් අනුර කුමාර හෝ මින් මතු පත්වන කිසිම ජනපතිවරයකු ගත යුතු නැත.
අනුර කුමාරට, තමන්ට ගැළපෙන ජනපති ලේකම් තෝරාගන්නට හැකියාව ඇති බව විශ්වාස කරන්න.
අලුත් ජනපතිවරයාට ඔහුගේ ක්‍රමයට වැඩ කරන්නට නිදහස දෙන්න.

(රජිත් කිර්ති තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී)

42.31%
17.27%
32.76%