September 20, 2024

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා සැප්තැම්බර් 30 වැනිදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රාජකාරිවලින් ද නිදහස් වනු ඇත.

කොළඹ පිහිටි ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතන මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය අර්ජුන ද සිල්වා සිය තීරණය නිවේදනය කළේය.

මහාචාර්ය අර්ජුන ද සිල්වා 2011 වසරේ සිට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඉල්ලා අස්වීමේ තීරණය තමන් විසින්ම ගත් තීරණයක් බවත් එය කිසිදු අංශයකින් එල්ල වූ අනවශ්‍ය බලපෑම් නිසා සිදුවූවක් නොවන බවත් සඳහන් කළේය.

මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසුවේ තමන් ඉතා තෘප්තිමත්ව පිටව යන්නේ වෙනත් අයකුට මෙම භූමිකාව භාර ගැනීමට ඉඩ සැලසීමට බවයි.

මහාචාර්ය අර්ජුන ද සිල්වා ක්‍රීඩා ඇමැතිවරුන් අට දෙනෙකු සමඟ කටයුතු කර ඇති අතර මෙම වසර 13ක කාලය තුළ ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ පාලනය යටතේ රාජකාරි කර තිබේ.

ඔහු මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා විශාල ප්‍රගතියක් අත්කර දීමට කටයුතු කළ අයෙකි.

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමේදී ආසියාතික රටවල් අතර ශ්‍රී ලංකාව හයවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙමින් සිටියදී ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සඳහා කොළඹ නව මූලස්ථානය ඉදිකිරීමට පුරෝගාමී වූයේද මහාචාර්ය අර්ජුන ද සිල්වාය.

මීට අමතරව, සියලුම තහනම් ද්‍රව්‍ය ආනයනය කරන්නන් සහ සිල්ලර වෙළෙන්දන් හඳුනාගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන් දෙසට හැරීම වැළැක්වීමට ද ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයට හැකි විය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන සියලුම තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය ලබා ගැනීමට තීරණය කර ඇති බැවින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට සැළකිව යුතු ආදායමක් ලබාගැනීමට හැකිවනු ඇතැයිද මහාචාර්ය අර්ජුන ද සිල්වා අනාවරණ කළේය.