September 20, 2024

ශිෂ්‍යත්ව විභාග පළමු විභාග ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කර උපකාරක පන්ති ගුරුවරුන් පිරිසකට යවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපති ඇතුළු නිදෙනකුගේ සේවය අත්හිටුවූ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් පවසා ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශාලාධිපතිවරයා ඇතුළු මෙම තිදෙනාගෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පසුගිය දා ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

පසුගිය 15 වැනිදා අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේදී විභාගය පැවැත්වීමට පෙර පළමු විභාග ප්‍රශ්න පත්‍රය එම විභාග මධ්‍යස්ථානයේ සහකාර ශාලාධිපතිවරයා විසින් සිය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කර උපකාරක පන්ති පවත්වන ගුරුවරු පිරිසකට යවා ඇති බවට සිදු කළ මූලික විමර්ශනයේදී තහවුරු වු බව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙහිදී පවසා ඇත.

ඒ අනුව, එම ශිෂ්‍යත්ව විභාග ශාලාවේ සේවය කළ ශාලාධිපතිවරයාත්, සහකාර ශාලාධිපතිවරයාත්, එම විභාග ශාලාවේ සේවය කළ ගුරුවරයකුගේත් සේවය අත්හිටුවා ඔවුන්ට විරුද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව පැවැසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර හා නොච්චියාගම ප්‍රදේශවල ගුරුවරුන් දස දෙනකු කොළඹට කැඳවා විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.