September 19, 2024

ලබන වසරේ විදෙස් සිසුන් සඳහා වන ශිෂ්‍ය බලපත්‍ර කප්පාදු කරන බවත්, රට තුළ තාවකාලික පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් පහත හෙළීම සඳහා විදේශ සේවක නීති දැඩි කරන බවත් කැනඩාව නිවේදනය කර තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ මෙම වසර මුලදී කැනඩාවේ ජනගහනය මිලියන 41 ඉක්මවා ගිය පසුබිමකය.

සංක්‍රමණ මට්ටම් පාලනය කිරීම අරමුණු කරමින් මීට පෙර ද කැනඩා රජය සීමාවන් කිහිපයක් පනවනු ලැබිණි.

අගමැති ජස්ටින් ටෘඩෝගේ රජය මෙවැනි ඉහළ සංක්‍රමණ තත්ත්වයන් රටෙහි නිවාස අංශය, රැකියා වෙළඳපොළ සහ සමාජ සේවා පීඩාවට පත් කිරීමක් ලෙස පෙන්වා දී ඇත.

“කැනඩාවට පැමිණීම වරප්‍රසාදයක්. එය අයිතියක් නොවේ,” ආගමන ඇමැති මාක් මිලර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

2025 දී කැනඩා රජය විදෙස් සිසුන් සඳහා වන අධ්‍යයන බලපත්‍ර 437,000ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර එය මේ වසරේ 485,000ක් වී තිබිණි.

2023 දී විදෙස් සිසුන් සඳහා වන අධ්‍යයන බලපත්‍ර 500,000ක් පිරිනමා තිබිණි.

නව නීති මගින් සිසුන්ගේ සහ විදේශීය ශ්‍රමිකයන්ගේ කලත්‍රයන් සඳහා රැකියා බලපත්‍ර සඳහා සීමාවන් පනවා ඇත.

එමෙන්ම වංචනික හෝ ප්‍රතික්ෂේප කරන ලද සරණාගත ඉල්ලීම් ඉහළ යෑම වැළැක්වීම සඳහා සංචාරක වීසා නිකුත් කිරීමට පෙර පරීක්ෂා කිරීම් වේගවත් කිරීමට ද පියවර ගෙන තිබේ.