September 19, 2024

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ අනුව සමරවීරට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ හෝ කාන්තා බිග් බෑෂ් ලීගයේ හෝ බිග් බෑෂ් ලීගයේ කණ්ඩායම් ඇතුළුව ප්‍රාන්ත හෝ ප්‍රදේශීය සංගමයක කිසිදු තනතුරක් දැරීමට තහනම් කර ඇත.

සමරවීර වික්ටෝරියා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතුව සිටියදී නුසුදුසු හැසිරීම්වල නිරත වූ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ හැසිරීම් පිළිබඳ සොයා බලන කොමිසම විසින් සොයා ගන්නා ලදී.

“ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ වික්ටෝරියා ක්‍රිකට් ආයතනය සියලුම ක්‍රීඩකයන් සහ සේවකයන් සඳහා ආරක්ෂිත පරිසරයක් සැපයීමට කැපවී සිටින අතර වැරදි ලෙස සැළකීමට ලක්වූවන්ගේ සුභසාධනය ඉතා වැදගත් වේ” යනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ප්‍රකාශයක දක්වා තිබේ.

වික්ටෝරියා ක්‍රිකට්ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, රාජ්‍ය කාන්තා වැඩසටහන සමඟ කටයුතු කළ සමරවීර තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ගත් තීරණයට ඔවුන්ද දැඩි ලෙස සහාය දක්වන බවයි.

වික්ටෝරියා ක්‍රිකට් ප්‍රධාන විධායක නික් කමින්ස් පැවසුවේ, මෙම හැසිරීම මුළුමනින්ම හෙළා දැකිය හැකි බවත් ක්‍රිකට් වික්ටෝරියා පෙනී සිටින සියල්ල පාවාදීමක් බවත් ඔවුන්ගේ අදහස වන බවයි.

“මෙම සිද්ධියේ වින්දිතයා මේ පිළිබඳ කතා කිරීමට ඉදිරිපත්වීමේ දී ඇදහිය නොහැකි ධෛර්යයක් පෙන්නුම් කර තිබෙනවා. ඇයට පිටියේදී සහ ඉන් පිටතදී ඇයගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපගේ අඛණ්ඩ සහයෝගය දිගටම ලබා දෙනවා.” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර ඇත.

සමරවීර වික්ටෝරියානු කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මැයි මාසයේදී පත් කරන ලද නමුත් එම මාසය අවසානයේදී ඉල්ලා අස්විය.

ඔහු මීට පෙර වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

සමරවීර 2008 වසරේ විශේෂඥ පිතිකරණ පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු 1993 සහ 1995 අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ හතකට ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ එක්දින තරඟ පහකට එක්වී ඇත.