September 19, 2024

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දී ඇති නියෝගයක් මත වසාදමා ඇති විල්පත්තුව වන මැදින් ඇති මාර්ගය, ඉහළ බලපෑම් මත බලෙන් විවෘත කර, පුත්තලමේ පදිංචිකරුවන් පිරිසක් ඡන්දය භාවිත කිරීමට මන්නාරම හා මරිච්චිකට්ටුව වෙත බස් රථ මගින් ගෙනයෑම සදහා වනජීවි නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව ලංකාදීපය වාර්තා කරයි.

එම වාර්තාවේ මෙසේ දැක්වේ.

පුත්තලමේ සිට මන්නාරමට විල්පත්තුව මැදින් වූ මාර්ගය පසුගිය 2015 සමයේ විවෘත වූ නමුත්, එයට පරිසර සංවිධානවලින් දැඩි විරෝධය එල්ල විය.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති නඩු තීන්දුවකින් මාර්ගය වසාදමා ඇත්තේ මෙම පරිසර පද්ධතියට සිදු වන හානිය සැළකිල්ලට ගනිමිනි.

විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වූ එළුවන්කුලම පිවිසුමේ සිට මොදගම් ආරු දක්වා වූ කිලෝමීටර් 45කට ආසන්න දුරකින් යුත් මෙම මාර්ගය මේ වන විට වනජිවි නිලධාරීන් හා නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ පමණක් භාවිත කරන අතර, ඡන්දය භාවිත කිරීමට ඡන්දදායකයන් බස් රථවලින් රැගෙන යෑම සඳහා මෙම මාර්ගය යොදා ගැනීමට ප්‍රබල දේශපාලනඥයන් පිරිසක් ඉහළ බලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කරමින් දැඩි ප්‍රයත්නයක නිරත වන බව වනජීවි නිලධාරීහු පවසති.

ඉහළ බලධාරීන්ට එල්ල වන බලපෑම් හමුවේ ඔවුන් මෙම මාර්ගය විවෘත කර ගැනීම සඳහා වනජීවී නිලධාරීන්ට බැගෑපත් වෙමින් සිටින බව ද කියති.

වනජිවි නිලධාරීන් පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පිට තමන්ට කිසිදු ලෙසකින් ක්‍රියාකිරීමට හැකියාවක් නොමැති බවයි.

මෙලෙස මන්නාරම හා මරිච්චිකට්ටු වෙත ඡන්දය භාවිත කිරීමට බස් රථ 30කට අධික සංඛ්‍යාවක් ගමන් කිරීමට සූදානමක් ඇති බව මේ වන විට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති අතර, එසේ විශාල බස් රථ සංඛ්‍යාවක් මේ ආකාරයට යම් ලෙසකින් වන මැදින් ගමන් කිරීමට වුවහොත් බරපතළ අපහසුතාවකට පත්වන බව වනජීවි නිලධාරීහු පවසති.

කෙසේවෙතත්, ලැබුණ ආරංචි මාර්ග අනුව එම බස් රථ, 19 හා 20 වැනිදා ගමන් කිරීමට සූදානමක් පවතින බව කියති.

වනජීවි නිලධාරීන් පවසන්නේ, විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ පිහිටි පල්ලෙකන්දල් සිද්ධස්ථානයට යෑම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දී තිබියදී, මෙම මාර්ගය ඡන්දය දැමීමට විවෘත කළහොත් බරපතළ ගැටලුකාරී තත්වයක් මතු වන බවයි.

(ලංකාදීප)