September 19, 2024

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු නියෝගය ඉවත් කිරීමට අධිකරණයේ අවසරය ඉල්ලා භික්ෂූන් වහන්සේ තුන් නමක් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කළේය.

එහිදී සුදුස්සකු පත් කිරීම සම්බන්ධයෙන් සළකා බලන ලෙසත් අතුරු නියෝගය නිකුත් කරන කාල සීමාව තුළ නීතියට අනුකූලව පොලිස්පතිවරයා ලෙස පුද්ගලයකු පත්කරන ලෙසත් ජනාධිපතිවරයාට ද නියම කරමින් 2024 ජුලි 24 වැනි දින නිකුත් කර ඇති අතුරු නියෝගයට මැදිහත් වීමට සහ එම නියෝගය ඉවත් කිරීමට අධිකරණයේ අවසරය ඉල්ලා සිටි භික්ෂූන් වහන්සේ වන්නේ ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි සහ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි යන හිමිවරුන්ය.

මෙම පෙත්සම විභාග කිරීමට නීතිමය පදනමක් නොමැති බව පවසමින් යසන්ත කෝදාගොඩ, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කරන ලදී.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම සහ ජනාධිපතිවරයා කිසිදු පත්කිරීමක් නොකිරීම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහ ජනාධිපතිවරණයේ වගකීම් ඉටුකිරීමට බලපාන බව මැදිහත් වූ පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.

මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, නිරෝෂන් පාදුක්ක, වෛද්‍ය පාකියසෝති සරවනමුත්තු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරිඳු ඉරංග ජයවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආතම් ලෙබ්බේ අසාත්, එස්.කේ ප්‍රියංග සහ ඒ.එන්.එස්. සොයිසා ඇතුළු මුල් පෙත්සම්කරුවන් චෝදනා කළේ අතරමැදි පෙත්සම්කරුවන්ට සිය තර්කය සම්බන්ධයෙන් හොඳ විශ්වාසයක් ගොඩ නැගීමට නොහැකි වී ඇති බවයි.

ඔවුන් වැඩිදුරටත් චෝදනා කළේ මැදිහත් වූ පෙත්සම්කරුවන්ගේ අයදුම්පත ප්‍රමාද වී ඉදිරිපත් කර ඇති බවයි.

එම පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පෙනී සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ෂමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු, ලක්ෂාන් ඩයස්, තිෂ්‍ය වේරගොඩ සහ විනුර කුලරත්න පෙනී සිටි අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියේය.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.