September 18, 2024

සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් තිස්සමහරාම පන්නෙගමුව ප්‍රදේශයේ සංවිධාන කෙරුණු රැස්වීමකට ජනාධිපති අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පේමසිරි මානගේ සහභාගි වී සිටින බවට ලැබුණු තොරතුරක් මත මැතිවරණ නිලධාරීහු පිරිසක් එම ස්ථානය ඊයේ (17) හදිසියේම වටළා පරීක්ෂා කළහ.

එහෙත් ඒ අවස්ථාවේ දී මානගේ එම ස්ථානයේ සිට නැති බවත් මැතිවරණ නිලධාරීන් එහි පැමිණ ඇත්තේ ප්‍රේමසිරි මානගේ එම රැස් වීමට සහභාගී වී පිටව ගොස් සිටිය දී බවත් දැනගන්නට ඇත.

හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් ජයාන් ලක්මාල්ට ලැබුණු තොරතුරක් අනුව ඒ නියෝගයෙන් එම මැතිවරණ නිලධාරීහු කණ්ඩායම පන්නගමුව ප්‍රදේශයට ගොස් සිටියහ.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් ජයාන් ලක්මාල්ගෙන් ලංකාදීපය කර ඇති විමසුමක දී ඔහු පවසා ඇත්තේ, ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ හම්බන්තොට ප්‍රදේශයේ රැස්වීම්වලට සහභාගි වෙමින් වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කරන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව මේ දිනවල ඒ පිළිබඳව විශේෂ සෙවිල්ලෙන් පසුවන බවයි.

ජනාධිපති අපේක්ෂකයකුට වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට කිසිඳු හැකියාවක් නැති බව පවසා ඇති සහකාර මැතිවරණ කොමසාරිස්වරයා, සිද්ධිය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයට සියලු තොරතුරු වාර්තා කළ බව ද ප්‍රකාශ කර තිබේ.

මේ සිද්ධියෙන් පසු පේමසිරි මානගේ මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

තමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට ඇතැම් මැතිවරණ නිලධාරීන් බාධා කරන බවත් එය තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් මානගේ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් තමා මැතිවරණ නිලධාරීන්ට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ප්‍රේමසිරි මානගේ සඳහන් කර ඇත.