September 18, 2024

 

නාවලපිටියේදී පුද්ගලයෙකුට තර්ජනය කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නාවලපිටිය සංවිධායකවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවද යන්න සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කර ඇත්තේ, පොලිසිය විසින් එම සැකකාර සංවිධායකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේවෙතත්, පැමිණිලිකරු සැකකරුගේ මිතුරකු බැවින් අධිකරණයෙන් පිටතදී සිද්ධිය සමථයකට පත්කිරීමට ඔවුන් එකඟ වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඉකුත් 15 වැනි දින සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකරමින් බෙදාහැරි අත් පත්‍රිකාවක් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී එම පක්ෂයේ සංවිධායකවරයකු සහ ඔහුගේ පිරිස විසින් පුද්ගලයෙකුට තර්ජනය කර පහරදීමේ සිද්ධිය ජනමාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්විය.

පහරකෑමට ලක්වූ පුද්ගලයා සේවය කරන ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයකට ඇතුළු වූ සංවිධායකවරයා ඔහුට තර්ජනය කර කම්මුලට පහර දී ඇත්තේ මැතිවරණයෙන් පසු ඔහු සම්බන්ධයෙන් බලාගන්නා බව පවසමිනි.

මෙම සිදුවීම ඒ ආසන්නයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබිණි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලටය.

වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු ඉකුත් සඳුදා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 3,720ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව වාර්තා වූවී ඇති අතර, දේශපාලන හේතු මත සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා 28ක් වාර්තා වී ඇත.