September 18, 2024

ජනාධිපතිවරණ කාලසීමාව තුළ මුද්‍රිත ජනමාධ්‍ය වාර්තාකරණයන් පිළිබඳ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අගෝස්තු 16 වනදා සිට 31 වනදා දක්වා කාලසීමාව තුළ දිනපතා සහ සතිඅන්ත පුවත්පත්වල මුල්පිටුවේ සහ ඇතුළු පිටුවල පළවූ ප්‍රවෘත්ති ස‍ඳහා වෙන්වී ඇති ඉඩ ප්‍රමාණය අපේක්ෂකයින් අතර බෙදී ගොස් ඇති ආකාරයයි.

එම නිරීක්ෂණ වාර්තාව අනුව එක් නියැදියක දැක්වුණේ පුවත්පත් මුල් පිටු 236 ක්, පුවත් 2402 ක් අළලා සිදු කරන ලද සමීක්ෂණයයි.

එහිදී ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනා අතරින් මුද්‍රිත මාධ්‍ය අවකාශයෙන් වැඩිම ඉඩ ප්‍රමාණයක් (51%) වෙන් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහටයි.

අනතුරුව සජිත් ප්‍රේමදාසට 21% ක්, අනුර කුමාර දිසානායක 17% ක් නාමල් රාජපක්ෂට 5% ක්, පාක්‍යසෙල්වම් අරියනේත්‍රිරන් සඳහා 3% ක් වෙන්ව ඇති අතර අනෙක් සියලු අපේක්ෂකයින් සඳහා වෙන් වී ඇත්තේ 3% කට අඩු ප්‍රමාණයකි.

අගෝස්තු 16 වනදා සිට 30 වනදා දක්වා දෛනිකව පුවත්පත්වල මුල් පිටුවේ පුවත් අවකාශ වෙන් වී ඇති ආකාරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවටද අනුව වැඩිම අවකාශයක් වෙන් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහටයි.

එහි දෙවන වැඩිම අවකාශ වෙන්කිරීම සජිත් ප්‍රේමදාසට වන අතර තුන්වැනි ස්ථානයේ පසුවන්නේ අනුර කුමාර දිසානායකයි.

ඊට අමතරව නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ පාක්‍යසෙල්වම් අරියනේත්‍රිරන්ට ද යම් මට්ටමකින් ප්‍රචාරණ කටයුතු සඳහා ඉඩ හිමිව තිබේ.

අනතුරුව වර්ගීකරණය කර ඇත්තේ, අගෝස්තු 16 සිට 31 දක්වා පළවූ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් 35 ක් ජනාධිපති අපේක්ෂකයන්ට ඉඩ ලබාදී ඇත්තේ කෙසේද යන්නයි.

එහිදී සිංහල මාධ්‍ය පුවත්පත්වලින් සියයට 50 ක ප්‍රතිශතයක් ලබාදී ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි.

සජිත් ප්‍රේමදාසට 22%, අනුර කුමාරට 17% ක් සහ නාමල් රාජපක්ෂට 6%ක්, දිල්ත් ජයවීරට 4% ප්‍රචාරක කටයුතු සඳහා ඉඩවෙන් කර තිබේ.

එම කාලය තුළදී දෙමළ ජාතික පුවත්පත්වල වැඩිම අවකාශය වන සියයට 51ක් රනිල් වික්‍රමසිංහටත්, සියයට 19ක් සජිත් ප්‍රේමදාසටත්, සියයට 15ක් අනුර දිසානායකටත්, 7%ක් පාක්‍යසෙල්වම් අරියනේත්‍රිරන්ටත්, සියයට 6ක් නාමල් රාජපක්ෂටත්, 2%ක් දිලිත් ජයවීරටත් වෙන්කර ඇත.

අගෝස්තු 16 සිට 30 දක්වා කාලය ඉංග්‍රීසි පුවත්පත් තුළ ජනාධිපති අපේක්ෂකයන් සඳහා අවකාශය වෙන්කර ඇති ආකාරය අනුව පෙරමුණ හිමිව ඇත්තේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහටයි.

ඔහුට හිමිව ඇති ප්‍රතිශතය 55% කි.

ඉංග්‍රීසි පුවත්පත්වල අවකාශයෙන් සියයට 19ක් සජිත් ප්‍රේමදාසට හිමිව තිබේ.

ඉතිරිය බෙදී ගොස් ඇත්තේ සියයට 18ක් අනුර කුමාරට සහ සියයට 4ක් නාමල් රාජපක්ෂට ලෙසයි.

සියයට 2ක් බැගින් පාක්‍යසෙල්වම් අරියනේත්‍රිරන් සහ දිලිත් ජයවීර සඳහා එහි ඉතිරි අවකාශ බෙදීගොස් තිබේ.

එම කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ දේශපාලන ප්‍රතිපත්ති, දේශපාලන සිදුවීම්/ අර්බුධ වාර්තාකරණය සඳහා පුවත්පත් මුල් පිටුවේ අවකාශ බෙදීගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් ද නිරීක්ෂණය කර ඇති අතර එහි ප්‍රතිපල මෙසේය.

දේශපාලන ප්‍රතිපත්ති සඳහා සියයට 48 ක අවකාශයක් වෙන්ව ඇති අතර දේශපාලන සිදුවීම් සඳහා සියයට 30 ක් සහ වෙනත් දෑ සඳහා සියයට 22 ක් වශයෙන් අවකාශය වෙන්කර ඇත.

එහිදීද සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත් ගත්කළ සිංහල මාධ්‍ය පුවත්පත්වලින් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රතිපත්ති සඳහා 44% ක්, දෙමළ මාධ්‍යයෙන් සියයට 50 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 61% ක් ලෙස අවකාශ වෙන්කර ඇත.

සිංහල මාධ්‍ය පුවත්පත්වල සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ප්‍රතිපත්ති සඳහා සියයට 23 ක්, දෙමළ මාධ්‍යයෙන් සියයට 19 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියයට 19 ක් ලෙස අවකාශය හිමිව තිබෙනවා.

අනුර කුමාර දිසානායකගේ දේශපාලන ප්‍රතිපත්ති සඳහා අවකාශ වෙන්ව ඇත්තේ මෙසේයි.

සිංහල මාධ්‍ය 20%, දෙමළ 14%, ඉංග්‍රීසි 12

නාමල් රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිපත්ති සඳහා සිංහල මාධ්‍ය 6%, දෙමළ 6%, ඉංග්‍රීසි 4% වශයෙනි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නිකුත් කළ අදාළ සම්පූර්ණ වාර්තාව පහත දිගුවෙන් ලබාගත හැක.

SLPI _ MO _ SR – 02 Report