September 17, 2024

බොහෝ විශ්වවිද්‍යාල සිසුන් විදේශයන්හි හොඳ අවස්ථා සොයා ශ්‍රී ලංකාව හැර යන බවත් එය ආර්ථිකයට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.

“බදු ගෙවන්නන් ඔවුන්ට අධ්‍යාපනය දෙන්න මුදල් ගෙවනවා, නමුත් ඔවුන් රට යනවා. අවසානයේ එය රටට විශාල පසුබෑමක්” යැයිද ඔහු පැවසීය.

මහාචාර්ය අතුකෝරල පවසන පරිදි, තාක්‍ෂණ හා කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරීන්ගෙන් බහුතරයක් උසස් අධ්‍යාපනය සඳහා පිටත්ව යන අතර නැවත පැමිණීමට අකමැති වීම නිසා සැළකිව යුතු කුසලතා රික්තයක් ඇතිකිරීමට සහ ආර්ථික වර්ධනය අඩාල කිරීමට එම බුද්ධි ගලනය දායක වේ.

තෘතීයික අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය අතුකෝරල ප්‍රකාශ කළේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බඳවා ගන්නේ සිසුන් 45,000ක් පමණ බවත්, උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ඇති දරුවන්ට පවා එම තරගකාරී බව නිසා විටෙක පිළිගැනීමක් නොලැබෙන බවයි.

“ධනවත් පවුල්වලට තම දරුවන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යැවීමට හැකියාව තිබෙනවා. පෞද්ගලික හා රාජ්‍ය විශ්වවිද්‍යාල අතර දැවැන්ත තරගයක් පවතිනවා. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අකාර්යක්ෂමතාව වැනි රජයේ බාධක සමඟ සිරවී සිටින අතරේ පෞද්ගලික ආයතන ඉදිරියට යමින් තිබෙනවා. විදේශීය සිසුන් ආකර්ෂණය කර ගන්නා පෞද්ගලික විශ්වවිද්‍යාල අපි නිදහස් කළ යුතුයි. අපි අපේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය කළ යුතුයි. එමඟින් අපට විදේශ අවස්ථා ලබාගත හැකියි” යනුවෙන් පැවසීය.

උසස් පෙළ හැදෑරීමට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසීම සඳහා පවතින පිරිමි සහභාගීත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර ඒ අනුව අධ්‍යාපනයේ ස්ත්‍රී පුරුෂ අනුපාතයෙහි අසමානතාවයක් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනයට වඩා කාන්තා ජනගහනය මිලියනයක් වැඩි නමුත් මෙම පරතරයට හේතු විය හැක්කේ පිරිමින් තම අධ්‍යාපනය දිගටම කරගෙන යනවා වෙනුවට ඉක්මනින් රැකියා සොයා ගැනීමට උත්සාහ කිරීමයි. මෙම අවස්ථා කාන්තාවන්ට නොලැබෙන නිසා ඔවුන් සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය අපේක්ෂා කරනවා,” යැයි ඔහු පැවසීය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්වා කරන ලද ර්ෂික පාසල් විශ්ලේෂණය අනුව රජයේ පාසල්වලට බඳවා ගන්නා ළමුන් සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

අඩු උපත් අනුපාතිකය, ජීවන වියදම වැඩිවීම, ප්‍රවාහනය ඇතුළු බොහෝ කරුණු නිසා මව්පියන්ට තම දරුවන් පාසල් යැවීමට මූල්‍යමය බාධාවන් ඇති විය හැකි බව මහාචාර්ය අතුකෝරල පවසයි.