September 17, 2024

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවති පෙරේදා (15) අනුරාධපුර විභාග මධ්‍යස්ථානයකදී පළමු ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලිවීම ආරම්භ වීමට විනාඩි 10කට පමණ පෙර එය පිටකරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි සහකාර ශාලාධිපති ඇතුළු ගුරුවරුන් හයදෙනකුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් නීල් අතුකෝරල උපුටා දක්වමින් ‘ලංකාදීපය’ වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කිරීමට විනාඩි 10 කට පෙර එම ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ඡායාරූප ගතකර ප්‍රදේශ කිහිපයක උපකාරක පන්ති ගුරුවරුන්ට ලබා දී ඇතැයි මෙම හයදෙනාට එරෙහිව චෝදනා එල්ල වී ඇතැයි කියති.

විභාග දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් අනුව සහකාර ශාලාධිපති සහ ගුරුවරුන් හයදෙනා විභාග දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය අනුරාධපුර, නොච්චියාගම, කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවකට යවා ඇතැයි පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයේ උසස් නිලධාරියකු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් නිල් අතුකෝරළ මහතාගෙන් කර ඇති විමසීමකදී ඔහු මෙසේ සඳහන් කර ඇත.

“සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් පසු එම ගුරුවරුන් ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගත්තා. ඉදිරියේ දී එම ගුරුවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් කරනවා.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසා ඇත්තේ, විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට නීතිය තදින් ක්‍රියාත්මක කර දැඩි දඬුවම් දිය යුතු බවයි.