September 16, 2024

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අගමැති ධූරය කාන්තාවකට හිමිවිය හැකි බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉඟි පළකර තිබේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු කියාසිටියේ සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණයෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.3 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල සහිත නව කැබිනට් මණ්ඩලයක් පත්කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවයි.

“අනුර කුමාර ජනාධිපති වුනොත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගෙනියන්නේ කොහොමද කියලා විපක්ෂ කඳවුර ප්‍රශ්න කරනවා. අනුර ජනාධිපති වුණාට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ඊළඟට ඉන්න ලක්ෂ්මන් නිපුණආරච්චි නව මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනවා. එතකොට අපි හතර දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන්නම්, අගමැති ධූරයට පත්වන්නේ පුරුෂයෙක් හෝ කාන්තාවක් විය හැකියි.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ස්විට්සර්ලන්තයේ ඇත්තේ හත්දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පමණක් බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව කැබිනට් මණ්ඩලයක් පත්කරන තෙක් සිව්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට මාස දෙකක කාලයක් ක්‍රියාත්මක විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වීමට ජාතික ජනබලවේගයට ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් සිටීදැයි ජනතාව ප්‍රශ්න කරන බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතීඥයන් වැනි වෘත්තිකයන් විශාල පිරිසක් සිටින බවයි.

“හරිනි අමරසූරිය මන්ත්‍රීවරියක් වෙන්න කළින් ඔයාලා කවුරුහරි දැනගෙන හිටියාද? ඇයව රටම දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් ඇයව මුළු රටම හඳුනනවා. විශාල දායකත්වයක් ලබාදෙන්න පුළුවන් එවැනි අය ඕනෑ තරම් අපිට ඉන්නවා,” පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේය.