September 15, 2024

රුපියල් මිලියන 30ක් වටිනා නිවාස දෙකක් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිය භාරයට ගෙන අක්මීමන සහ බෝපේ, පෝද්දල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත භාරදී තිබේ.

නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා කාන්තාවක් විසින් මෙම නිවාස දෙක මිලදී ගෙන ඇති බව පොලිසිය පවසයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිකරණ දුන් නියෝග අනුව මෙලෙස පවරාගනු ලැබුවේ අක්මීමන පොලිස් බල ප්‍රදේශයේ හාලිවෙල සහ පෝද්දල පොලිස් බල ප්‍රදේශයේ හපුගල යන ප්‍රදේශවල නිවාස දෙකකි.

සැකකාර කාන්තාව අධික පොලී ලබාදෙන සංවිධානයක මුදල් ආයෝජනය කරන බවට ජනතාව රවටා අවට ගම්වල ජනතාවගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.

හාලිවෙල පිහිටි නිවසේ භාරකාරත්වය අක්මීමන අතිරේක ප්‍රාදේශීය ලේකම් නයනතාරා ගුරුගේයට පැවරිණි.

හපුගල නිවසේ භාරකාරත්වය අධිකරණ රෙජිස්ටාර්වරයාට දැනුම්දීමෙන් පසු පෝද්දල ප්‍රාදේශීය ලේකම් පියුමාලි ලියනගේ වෙත භාර දෙනු ලැබිණි.

ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කැලුම් තිලකරත්න, ගාල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ඒ එස් එල් නාරංගොඩ ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් ඊට සම්බන්ධ වූහ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි විමර්ශන සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න පවසයි.