September 15, 2024

කොවිඩ් 19 වසංගත සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආරක්‍ෂිත ඇස් කණ්ණාඩි වෙනුවට පිහිනුම් කණ්ණාඩි ලබාදීමෙන් රුපියල් මිලියන ගණනක මහජන මුදල් අලාභයක් සිදුවූ ප්‍රසම්පාදන වරදක් ජාතික විගණන කාර්යාලයේ මෑත වාර්තාවකින් හෙළිදරව් වී තිබේ.

Sunday Morning වාර්තා කර ඇති ආකාරයට, 2020 දී, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රුපියල් මිලියන 14.27ක හදිසි ප්‍රසම්පාදනයක් සිදු කර රුපියල් 1,400 බැගින් ආරක්ෂිත ඇස් කණ්ණාඩි 10,000ක් සහ රුපියල් 1,350 බැගින් අතිරේක ආරක්ෂිත ඇස් කණ්ණාඩි 200ක් මිලදී ගෙන ඇත.

කෙසේවෙතත්, එක් සැපයුම්කරුවකුගෙන් සෘජු මිලදී ගැනීමක් හරහා සිදුකරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියට තීරණාත්මක තාක්ෂණික ඇගයීමක් තිබී නැත..

තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් මගහැර නිසි පරීක්ෂාවකින් තොරව ඉදිරියට යෑමට ගත් තීරණය විනාශකාරී ප්‍රතිඵලයකට තුඩු දී ඇති බව ජාතික විගණන කාර්යාලයේ විමර්ශනයෙන් අනාවරණ වී ඇත.

උපරිම 20% අත්තිකාරම් ගෙවීමට ඉඩ සලසන රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනිව, සැපයුම්කරුට රුපියල් මිලියන 7 ක් එනම් මුළු කොන්ත්‍රාත්තුවේ වටිනාකමින් 50%ක් අත්තිකාරම් ලෙස ගෙවා ඇත.

මෙමගින් නියමිත රෙගුලාසි උල්ලංඝනය කර ඇති අතර, ප්‍රසම්පාදනයේ අක්‍රමිකතා තවත් වැඩි වී තිබේ.

ජාතික විගණන කාර්යාලයේ වාර්තාව ඊටත් වඩා විශාල කම්පනයක් හෙළි කර ඇත.

මුල් මිලදී ගැනීමේ ඇණවුම, මිල ගණන් සහ ලැබුණු භාණ්ඩ ලැයිස්තුව අනුව සැපයුම්කරු ආරක්ෂිත ඇස් කණ්ණාඩි වෙනුවට පිහිනුම් ඇස් කණ්ණාඩි 10,200ක් ලබා දී ඇත.

2021 නොවැම්බර් 9 සහ 24 යන දිනවල සිදු කරන ලද භෞතික පරීක්ෂණයකින් මෙම දැවැන්ත දෝෂය අනාවරණ වන තෙක් ප්‍රසම්පාදන අධීක්‍ෂණයෙදී එය අවධානයට ලක් වී නැත.

පිහිනුම් ඇස් කණ්ණාඩි 10,200න් 54ක් පමණක් අලෙවි වී ඇති අතර, ඒවායේ මිල රුපියල් 1,610කි.

රුපියල් මිලියන 13.92ක මුළු වටිනාකමකින් යුත් අලෙවි නොකළ ඇස් කණ්ණාඩි 9,945ක් තොගයේ පවතින අතර, එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහා සැළකිව යුතු බඩු තොගයක් නිර්මාණය කර තිබේ.

තවද, රුපියල් 281,400ක් වටිනා ඇස් කණ්ණාඩි 201ක හිඟයක් හඳුනාගෙන ඇති අතර එය තවදුරටත් සිදුවිය හැකි පාඩු පිළිබඳ කණස්සල්ල මතු කරයි.

කොවිඩ් වසංගතය අතරතුර පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) මිලදී ගැනීම නිසා රටට රුපියල් මිලියන 29.62ක දැවැන්ත පාඩුවක් සිදු වූ තවත් බරපතළ වැරදි කළමනාකරණ සිද්ධියක් ජාතික විගණන කාර්යාලයේ විසින් ඉස්මතු කර ඇත.

ඒ, වෛද්‍ය සැපයුම් අංශය හෝ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් කට්ටල සඳහා සවිස්තරාත්මක අවශ්‍යතා පිරිවිතර සකස් කර නොතිබියදී වෛද්‍ය සැපයුම් අංශය සඳහා 2020 දී පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 5,000ක් සඳහා වූ දෝෂ සහිත මිලදී ගැනීමේ ක්‍රියාවලියකි.

තනි සැපයුම්කරුවකුගෙන් ප්‍රොෆෝමා ඉන්වොයිසියක් මත පදනම්ව පෞද්ගලික ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රුපියල් මිලියන 21.49ක් වැය කර ඇත.

සපයන ලද කට්ටල අවශ්‍ය වෛද්‍ය ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම සඳහා මිල ගණන් ලබාගෙන නොතිබූ අතර තාක්ෂණික ඇගයීමක් සිදු කර නැත.

ඇණවුම් කළ පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 5,000න්, වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබා දුන් කට්ටල 2,000ක පළමු කාණ්ඩය ප්‍රතික්ෂේප කර ඇත.

ඉදිරිපත් කරන ලද නියෝගයෙන් පැහැදිලිවම සම්පූර්ණ පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල ඉල්ලා තිබුණද, සම්පූර්ණ පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල වෙනුවට ආරක්‍ෂිත ගවුම පමණක් ලබා දී ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පෙන්වා දී ඇත.

පළමු කණ්ඩායම ප්‍රතික්‍ෂේප කළද, දෙවැනි කාණ්ඩයේ කට්ටල 3000ක් ද එවා තිබූ අතර, එම හේතුව නිසාම එය ද ප්‍රතික්ෂේප විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සැපයුම්කරු වෙත ගෙවන ලද රුපියල් මිලියන 21.49 ආපසු ලබා ගැනීමට අපොහොසත් වූවා පමණක් නොව, අමතර රුපියල් මිලියන 8.13ක සේවා ගාස්තු ද අහිමි විය.

සමස්තයක් වශයෙන්, මෙය රුපියල් මිලියන 29.62ක මුළු පාඩුවක් බවට පත්වී ඇත.