September 15, 2024

නව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් සඳහා තක්සේරුවක් කිරීමට සහ දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ සමාලෝචනය කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරණය අවසන් වී සති දෙකකට පසු ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.

ඔවුන් තේරී පත් වන නව ජනාධිපතිවරයා හමුවී පවතින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට පරිපාලනය විසින් යෝජනා කිරීමට බලාපොරොත්තු වන ඕනෑම වෙනස්කමක් පිළිබඳ සාකච්ඡා කරනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

ඔවුන්ගේ ප්‍රධාන අවධානයක් වන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය බවත් එසේ නොමැතිව ආර්ථිකය ස්ථාවර නොවනු ඇති බවත් පවසන මුදල් අමාත්‍යාංශ නිලධාරියකු සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය අවසන් වීමත් මහ මැතිවරණයත් අතර කාලසීමාව සම්බන්ධයෙන් ඔවුන්ට යම් කණ ස්සල්ලක් පවතින බවයි.

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු අපේක්ෂා කළ යුතු විවිධ අවස්ථා පිළිබඳ භාණ්ඩාගාර නිලධාරීන් විසින් තක්සේරුවක් ද සිදු කර ඇත.

ඔවුන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සවිස්තරාත්මකව අධ්‍යයනය කර ඇති අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ අඛණ්ඩ පැවැත්ම සඳහා දේශපාලන වර්ධනයන් අහිතකර තත්ත්වයක් නිර්මාණය කළ හැකි ආකාරය ද සාරාංශ කර ඇත.

විස්තීරණ අරමුදල් පහසුකම යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම්වලට අනුකූලව බදු අඩුකිරීම් සහ අධික වියදම් හේතුවෙන් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11කට වඩා වැඩි වීම නිසා අයවැය ලේඛනය සකස් කිරීමේදී දුෂ්කරතා මතුවනු ඇතැයි යන කරුණු මේ අතර වන බව භාණ්ඩාගාර ආරංචි මාර්ග පවසයි.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% සිට 4% දක්වා සැලකිය යුතු ප්‍රාථමික හිඟයක් පවතින තත්ත්වයක් නිර්මාණය වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් විය හැකි බව එම තක්සේරුව පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ බාහිර ණය හිමියන් සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම්වලට බාධා කිරීම් මෙන්ම මුදල්වලට සෘජු හා වක්‍ර බලපෑම් ඇති කළ හැකි මූල්‍ය අසමතුලිතතාවයන් පිළිබඳව ද තක්සේරුව හඬ නඟයි.