September 15, 2024

හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයන්, සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් විවිධ කාර්යයන් සඳහා ආශිර්වාද ලබාගැනීමට පැමිණි අනුරාධපුර පදිංචි ඥාණවතී ජයසූරිය (ඥාණක්කා) නමැත්තියගේ නිවෙස ඉකුත් අරගල සමයේදී ගිනිතැබීමෙන් පසු ඊට හානි පූර්ණ වන්දි වශයෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් ඇයට ගෙවා ඇතැයි හානිපූර්ණය සඳහා වන කාර්යාලය සඳහන් කරයි.

‘අරුණ’ වාර්තා කර ඇති ආකාරයට, තොරතුරු දැනගැනීමේ පනත යටතේ හානිපූර්ණය සඳහා වන කාර්යාලයෙන් කරන ලද විමසීකට අනුව මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර නව නුවර පාරේ, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිව සිටින ‘ඥාණක්කා’ නමින් හඳුන්වන කාන්තාවගේ නිවසට, දේවාලයට සහ හෝටලයට ඉකුත් අරගල සමයේදී එනම් 2022 වසරේ මැයි 10 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනිතබන ලදී.

ඒ අනුව, හානිපූරණය සඳහා වන කාර්යාලය කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ රජයේ තක්සේරුකරු විසින් ලබාදී ඇති රහස්‍ය තක්සේරු වාර්තාවෙහි වටිනාකම මත පදනම්ව මූල්‍ය සහන ලබාදී ඇතැයි එම කාර්යාලයේ තොරතුරු නිලධාරියා සඳහන් කරයි.

මෙලෙස මූල්‍ය සහන ලබාදීමේදී හෝටලයට සහ දේවාලයට ගෙවීම් කර නැතැයි ද හානිපූරණය සඳහා වන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.