September 14, 2024

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(13) ඇප නියම කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනය ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධියට සහාය වූ බව කියන සංජීව මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එවක අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලවීමේ සිද්ධිය අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිවරයාගේ ද සහාය ඇතිව රංගන ශිල්පියකු ද වන දේශපාලනඥයා විසින්ම සිදුකර ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය ජුනි 14 වැනිදා පැවසීය.

2023 සැප්තැම්බර් 17 වැනි දින රාත්‍රී 10.35ට පමණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි විගස නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් ඔහුගේ මෝටර් රථයට වෙඩි තබා ඇති බවත් මන්ත්‍රීවරයා නිරුපද්‍රිත බවත් මුලින් වාර්තා විය.

මෝටර් රථයකින් පැමිණි අපරාධකරුවන් මෝටර් රථය නවතා නිවස දෙසට යමින් සිටි මන්ත්‍රීවරයා ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද වාර්තා විය.

තුවක්කුකරුවන් පිස්තෝලයක් භාවිත කළ බවට සැක කෙරෙන වෙඩි තැබීමේ සිද්ධියෙන් හිටපු මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ වම්පස පිටුපස දොරේ වීදුරුවට හානි සිදුව තිබිණි.