September 14, 2024

සීනි ආනයනය කිරීමේදී කිලෝ එකක් සඳහා පනවා තිබූ රුපියල් 50ක විශේෂ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසුව එක්තරා සමාගමක් සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිපන්දහසක් ආනයනය කිරීමෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් කෝටි 1590කට අධික මුදලක් අහිමි කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ලබන වසරේ අප්‍රේල් 2 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12දා) නියෝග කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ගොනුකර තිබූ එම පෙත්සම එස්. තුරෙයිරාජා කුමුදුනි වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරි සති අටක කාලය ඇතුළත තම අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළ විනිසුරු මඬුල්ල, වගඋත්තරකරුවන්ගේ සංශෝධිත නාම ලේඛනය සති හතරක කාලයක් ඇතුළත තම අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.

සීනි බද්ද සියයට 99.5කින් අඩු කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය බල රහිත කරනා ලෙසත්, එලෙස අයථා ලෙස උපයාගෙන ඇති මුදල රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට හා වගකිව යුතු පුද්ගලයන්ට අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට බලධාරීන්ට නියෝගයක් කරනා ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා, පිරමීඩ් විල්මාර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාත් මවුසීත් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය සතොස සභාපති හා නීතිපති එම පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස නම් කොට තිබිණි.

රජයට අයවිය යුතු විශාල මුදලක් අහිමි කිරිම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඔහුගේ වගකීම් පැහැර හැර ඇති බවත් ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීම නිසා එම හෝටලයේ අයිතිකරුට අයුතු ලාභයක් ලබාගැනීමට ඉඩකඩ සලසමින්, එලෙස විශාල ලෙස සීනි බදු මුදල් අඩු කර ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.