September 13, 2024

කාන්තාවකට හිමිකාරීත්වය තිබියදී බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10ට අධික වටිනාකමින් යුත් නිවෙසක් වහාම එම කාන්තාවට භාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අධිසේන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ඇතුළු වගඋත්තරකරුවන් තිදෙනකුට ඊයේ (12දා) නියෝග කළේය.

එම නියෝගය කඩකළහොත් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද මහෙස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් තිදෙනාට දැනුම් දුන්නේය.

පෙත්සම්කාර කාන්තාව සිය නීතිඥවරයා මගින් අධිකරණය හමුවේ දැක්වූ කාරණ්ඩු අනුව ඇය එම නිවෙස භුක්ති විඳ ඇති බව පැහැදිලි වන බවත් උත්තරකරුවන් බලහත්කාරයෙන් පෙත්සම්කාරියට එම දේපළ භුක්ති විඳීම අහිමිකර ඇති බවට කරුණු තහවුරු වන බවද මහෙස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පැවැසීය.

එමනිසා එම දේපළෙහි සාමකාමී නිරවුල් භුක්තිය පෙත්සම්කාරියට හිමිවිය යුතු බවද සිය තීන්දුව ලබාදෙමින් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, උන්වහන්සේගේ ගෝල හිමිනමක් වන දයාසීග හිටියන්ට් හා එම නිවෙසේ මුරකරු වශයෙන් කටයුතු කළ බව කියන තිදෙනෙක් මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණී.

කොළඹ 4 පදිංචි ඉකා චන්දිමා සේනානායක නමැති කාන්තාවක් ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්ධික තල්දුව මඟින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් සැළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

බම්බලපිටිය ෆැන්කන් රෙසිඩන්ස් නමැති එම සංකීර්ණයේ පිහිටි එම සුඛෝපභෝගී නිවෙස තම පියාගේ සහෝදරියට අයත් එකක් බවත්, 2023 වසරේ මැයි 18 වැනි දින එය තමා භාරයට පත් කළ ඇය විදේශගත වූ බවද ඒ අනුව එදින සිට නිවෙස නඩත්තු කරමින් රැකබලා ගනිමින් තමන් භුක්ති විඳිමින් සිටි බවද පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මඟින් පෙන්වාදී තිබිණි.

එම නිවෙස නඩත්තු කරමින් හා රැකබලා ගනිමින් සිටින විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් නිවෙස පිහිටි ස්ථානයට පැමිණ තමන්ට හා තම දියණියට එම නිවෙසට ඇතුල්වීමට ඉඩනොදී බාධාකරමින් කලහාකාරී ලෙස හැසිරුණු බවද ඇය ගොනුකර තිබෙන පැමිණිල්ලේ සඳහන්ය.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු සැකකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේනමක් තමන්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් නිවෙසින් ඉවත්වන ලෙසට බලපෑම් කළ බවද, ඒ අනුව තමා ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර නිවෙස වෙත ගිය විට එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියා නිවෙස වෙත ඇතුළු නොවන ලෙස තමාට තර්ජනය කළ බවද ඇය එම පැමිණිල්ල මඟින් පෙන්වාදී තිබිණි.

තමන්ට එල්ල වී තිබෙන මරණීය තර්ජන හේතුවෙන් තමන් හා තම දියණිය එම නිවාස සංකීර්ණයෙන් ඉවත්ව එකල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව පදිංචිව සිටින බවද, මේ සම්බන්ධයෙන් නීතියේ පිළිසරණ ලබාදෙන ලෙසද පැමිණිලිකාරිය සිය නීතිඥවරිය මඟින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.