September 13, 2024

පෙර නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයාට පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නියෝගය මගින් ශ්‍රී ලංකාවේ ඔන්ලයින් සහ විදේශ වීසා සේවාවලට අදාළ කැබිනට් තීරණයක් අත්හිටුවා තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා පාලක ජනරාල්වරයා විසින් පෙන්වා දී ඇති බව අධිකරණයට දන්වා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ගොනු කර ඇති මෝසම සළකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදීය.

කෙසේවෙතත්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිරීක්ෂණය කර තිබුණේ අධිකරණ නියෝගය පිළිපැදීමට අපොහොසත් වීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැළකිව හැකි බවයි.

අගෝස්තු මාසයේදී, ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරමින්, වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය GBS Technology Services & IVS Global-FZCO, VFS VF Worldwide Holdings LTD ප්‍රමුඛ සමුහය වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය තාවකාලිකව නවතා දමන ලදී.

පෙත්සම්වලට විසඳුම් ලැබෙන තුරු මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.

විදේශීය ආයතන දෙක සමඟ ඇතිකරගත් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ක්‍රමය හැසිරවීම සඳහා පෞද්ගලික ආයතන මිලදී ගැනීමේදී නිලධාරීන් විසින් ක්‍රියාපටිපාටි උල්ලංඝනය කිරීම් සහ මහජන විශ්වාසය අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් විය.