September 13, 2024

සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරුපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද පොළවල් තුළට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කළේය.

‘නිදහස් සහ සාධාරණ ජනාධිපතිවරණයක් සහතික කිරීමේ මාධ්‍ය භූමිකාව’ තේමා කරගනිමින් ශ්‍රී ලංකා පුවත්පත් සංගමය විසින් ඊයේ සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අමතමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එවැනි ප්‍රවණතා නැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම සැප්තැම්බර් 21 වැනි දින ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් කරන බව ඔහු පැවසීය.

“තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී එවැනි සලකුණු සහිත ඡන්ද පත්‍රිකා අන්තර්ජාලයට මුදා හැරීමේ ප්‍රවණතාවක් අප නිරීක්ෂණය කර තිබෙනවා. අපිට ඕන ඡන්දෙ දවසෙ ඒක වළක්වන්න.” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේය.

ජනාධිපතිවරණය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

ජනාධිපතිවරණයට තරගවදින සියලුම අපේක්ෂකයන් සඳහා මාධ්‍ය විසින් සම මට්ටමේ අවස්ථා ලබාදිය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

එමෙන්ම ඔහු පැවසුවේ නිල නොවන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් මාධ්‍ය වැළකී සිටිය යුතු බවයි.

“අපට අපේක්‍ෂකයන් 38ක් ඉදිරිපත් වෙලා ඉන්නවා. එක් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඔවුන්ගේ නියෝජිතයන් පස් දෙනෙකු සිටීම සහතික කළ හැකියි. එවිට එය තරඟකාරී ස්ථානයක්. එහිදී ඔවුන් තම ආධාරකරුවන් සමඟ බෙදා ගැනීමට නිල නොවන ප්‍රතිඵල සටහන් කර ගන්නවා. ඔවුන්ට සමහර වෙලාවට හරියට පේන්නෙ නෑ. ඔවුන්ගේ සංඛ්‍යාව සමහර විට නිල සංඛ්‍යා සමඟ නොගැළපෙන්න පුළුවන්. ඒ නිසා නිල නොවන ප්‍රතිඵලවලින් ජනතාව නොමඟ යැවිය යුතු නැහැ,” යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේය.