September 11, 2024

යක්කල බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට කඩාවැදී දේපොළ කොල්ලකා එහි සිටි තරුණියන් දෙදෙනකු පැහැරගෙන ගොස් මීගහවත්ත ප්‍රදේශයේ නිවසක සිරකර ගෙන එම තරුණියන් දූෂණය කළ බව කියන හත්දෙනකුගේ කල්ලියක සැකකරුවන් සිව්දෙනකු යක්කල පොලිසිය ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සංවිධානාත්මක කල්ලිය තරුණියන් පැහැරගෙන යැමට යොදාගත් මෝටර් රථය ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

තරුණියන්ට මරණීය තර්ජන එල්ල කිරීම සඳහා මෙම සංවිධානාත්මක කල්ලිය පාවිච්චි කළ කඩුවක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනාම මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවන්වන අතර ඔවුහු දෙකටන, වැලිවේරිය, කඩවත ප්‍රදේශවල පදිංචිකරුවෝය.

මෙම සංවිධානාත්මක කණ්ඩායමට ආධාර උපකාර කළ කාන්තාවක ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය පවසන අන්දමට හත්දෙනකු ගෙන් සමන්විත සංවිධානාත්මක කල්ලිය මෙම සම්බාහන මධ්‍යස්ථානයට කඩාවැදී ඇත්තේ පෙරේදා (09 වැනිදා) අලුයම 1.00ට පමණය.

සම්බාහන මධ්‍යස්ථානයේ සිටි තරුණියන්ට මරණීය තර්ජන එල්ලකළ පිරිස ඔවුන් සතුව තිබූ රුපියල් ලක්‍ෂ 4කට ආසන්න වටිනාක මෙන් යුත් රන් ආභරණ, ජංගම දුරකථන සහ ක්‍රෙඩිට් කාඩ්පත් කොල්ලකා ගෙන ඇත.

පසුව මෙම සංවිධානාත්මක කල්ලිය සම්බාහන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් අතරින් තරුණියන් දෙදෙනකු තෝරාගෙන ඔවුන් පැහැර ගෙන මෝටර් රථයෙන් මීගහවත්ත ප්‍රදේශයට ගොස් තිබේ.

එම ප්‍රදේශයේ පාළු නිවසකට මෙම තරුණියන් රැගෙන ගිය සංවිධානාත්මක කල්ලියේ සාමාජිකයන් හත්දෙනා රැය පහන් වන තුරු තරුණියන් දෙදෙනා සිරකර ගෙන ඔවුන්ට තර්ජනය කරමින් වරින්වර දූෂණයට ලක්කර ඇත.

පසුව ඊයේ පෙරවරුවේදී මෙම පිරිස තරුණියන් දෙදෙනා මෝටර් රථයේ දමාගෙන දොම්පේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් තිබේ.

එම නිවසේ කාන්තාවක සිට ඇති අතර සංවිධානාත්මක පිරිස ඇයට මෙම තරුණියන් දෙදෙනා භාරදී පිටව ගොස් ඇත.

එම කාන්තාව තරුණියන් දෙදෙනා සිය නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

තරුණියන් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මෙම කාන්තාව විවිධ භාණ්ඩ මිලදී ගෙන ඇති බවද පොලිසිය පවසයි.

ඊයේ දහවල් නැවත එම නිවසට පැමිණි සංවිධානාත්මක කල්ලිය තරුණියන් දෙදෙනා මෝටර් රථයේ දමාගෙන වැලිවේරිය ප්‍රදේශයේ බස් නැවතුම් පොළකට ගෙන ගොස් අතහැර දමා පළාගොස් ඇත.

මෙම තරුණියන් දෙදෙනා ඊයේ සවස යක්කල පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ යක්කල පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කල පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකරුවන් හත්දෙනකුගේ අතවරයට සහ හිංසනයට ලක්වූ තරුණියන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.(දිවයින)