September 10, 2024

සබරගමුව සහ ඌව පළාත් ඇතුළු ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල සිසුන් සහ ගුරුවරුන් අතර චීන භාෂාව ප්‍රවර්ධනය කෙරෙන බව Xinhua පුවත් සේවය වාර්තා කර තිබේ.

එම පුවත් සේවයට අනුව, සබරගමුව විශ්වවිද්‍යාලයේ සංවෘත මණ්ඩපයෙන් චීන භාෂා පුහුණුවීමේ කටහඬ නිතර ඇසෙන්නට ලැබෙන්නකි.

චීනයේ Huanggang විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ සබරගමුව විශ්වවිද්‍යාලය විසින් 2019 දී පිහිටුවන ලද කොන්ෆියුසියස් පන්ති කාමරයක Zhu Song, Zhang Huan සහ Xia Zihan යන චීන ගුරුවරුන් තිදෙනා සේවය කරති.

කොන්ෆියුසියස් පන්ති කාමර යනු චීන භාෂාව ප්‍රවර්ධනය සඳහා වන කොන්ෆියුසියස් පන්ති කාමර වැඩසටහන යටතේ විවිධ රටවල පිහිටුවනු ලබන පුහුණු කිරීමේ ස්ථාන වේ.
බොහෝ අපහසුතා මැද වුවද එම ගුරුවරුන් සියලු දෙනාම සුබවාදීව සිටිති.

පරිත්‍යාගයෙන් හා කැපවීමෙන් තමන්ව නිර්වචනය කරනවාට වඩා, ගුරුවරුන් කැමැත්තක් දක්වන්නේ ධනාත්මක බව, මිත්‍රශීලී බව සහ ජීව ගුණයෙන් යුතුව දරුවන්ට ආස්වාදයක් ලබා දෙමින්, චීන භාෂාව ඉගෙනීමට ඇති ඔවුන්ගේ උද්යෝගය සහ චීනය කෙරෙහි ඔවුන්ගේ ආදරය අවුළුවාලීමයි.

ඔවුන් සිසුන්ගේ මට්ටමට ගැළපෙන පරිදි චීන පෙළපොත් සකස් කර ඇත.

චීන සංස්කෘතිය කෙරෙහි සිසුන්ගේ උනන්දුව වර්ධනය කිරීම සඳහා ඔවුන් විවිධ සාම්ප්‍රදායික චීන කලා ආකෘති හඳුන්වා දී ඇත.

මීට අමතරව, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ චීන ඉගැන්වීමේ ශාඛාවක් පිහිටුවීමට කටයුතු කර ඇති අතර එහිදී දේශීය ගුරුවරුන්ට චීන භාෂාව නිතිපතා පුහුණු කිරීම් සිදුකරනු ලැබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පීඨාධිපති රොහාන් අබේවික්‍රම පවසන්නේ මෑත වසරවලදී විශ්වවිද්‍යාල සිසුන් චීන භාෂාව ඉගෙනීමට ඇති උනන්දුව කැපී පෙනෙන ලෙස ඉහළ යෑමේ ප්‍රවණතාවක් දකින බවයි.

“’කොන්ෆියුසියස් පන්ති කාමරය’ සිසුන්ට චීනය සමඟ සම්බන්ධ වීමට, චීන සංස්කෘතිය අත්විඳීමට සහ චීනයට අධ්‍යයන චාරිකාවලට සහභාගී වීමට වැඩි අවස්ථාවන් ලබා දෙනවා. එමගින් ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය වර්ධනය කරනවා. පිහිටුවා ඇති කොන්ෆියුසියස් පන්තිකාමරය නිසා කඳුකර ප්‍රදේශවල සිසුන්ට චීන භාෂා සිහින තවදුරටත් දුර දෙයක් නෙවෙයි ” යනුවෙන් අබේවික්‍රම සඳහන් කරයි.