September 10, 2024

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු අපරාධ කල්ලි සාමාජිකයකු වූ එස්.එෆ්.ලොක්කා නමැත්තා ඝාතනය කිරීම වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් පිරිසක් රුපියල් කෝටි 13ක් ලබාදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවට උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් ‘ලංකාදීපය’වාර්තා කරයි.

යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනවලට අනුව මෙම තොරතුරු අනාවණය වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරු අනුව එම අපරාධවල සුලමුල අනාවරණය වී ඇත.

එම සැකකරු කළ ප්‍රකාශයට අනුව ඔහු 2015 වසරේ කේරළ ගංජා සන්තකයේ තබාගැනීමේ චෝදනාවකට අනුරාධපුර බන්ධනාගාරයේ සිටියදී අපරාධ කල්ලි සාමාජික එස් එෆ්.ලොක්කා නමැත්තා සමග ඇති වූ ආරවුලක් හේතු කරගෙන එවකට අනුරාධපුර ප්‍රදේශයේ රාජකාරි සිදුකරමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයකු, උපපොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයකු එම සැකකරු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි කියති.

පසුව සහකාර පොලිස් අධිකාරිවරයා සැකකරු තම කාර්යාලයට කැඳවා එස්.එෆ්. ලොක්කා ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති අතර පසුව එක්තරා පක්ෂයක දේශපාලනඥයකුට අයත් ඉඩමකට ගොස් ටී 56 ගිනිඅවියක් හා උණ්ඩ 4 ක් ලබාදී සැකකරුට වෙඩි තැබීම සඳහා පුහුණුවක් ලබාදී ඇති බවත් එම උසස් නිලධාරියා කීය.

පසුව 2020 අගෝස්තු දිනෙක උප පොලිස් පරීක්ෂක සහ සැරයන්වරයා ටී 56 වර්ගයේ ගිනි අවියක් ද රැගෙන දේශපාලනඥයාගේ මෝටර් රථයෙන් පැමිණ තමාද නංවාගෙන ගොස් පසුව සැරයන්වරයා සහ සැකකරු යතුරු පැදියකින් එස්.එෆ්. ලොක්කා නමැත්තාගේ මෝටර් රථය පසුපස හඹාගොස් දහයියාගම හන්දිය අසල දුම්රිය හරස්මාර්ගයේදී වෙඩිතබා ඝාතනය කළ බවට ප්‍රකාශ කර ඇතැයි එම උසස් නිලධාරියා පැවැසීය.

එම ඝාතනය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් පිරිසක් පොලිස් නිලධාරින් තිදෙනකුට රුපියල් කෝටි 13ක් ලබාදී ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම අනාවරණය වූ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකය මගින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව එම නිලධාරියා පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් පරිදි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගත් වත්කම් විමර්ශන ඒකකය විමර්ශන සිදුකරයි.