September 10, 2024

යාපනයේ සිට ගොස් ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබාගෙන සිටින 53 හැවිරිදි පුද්ගලයකු රවටා රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචනිකව ලබාගත් යාපනයේ කාන්තාවන් තිදෙනෙකු පොලිසිය පෙරේදා (8 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවන් තිදෙනා සංවිධානය වී වයස අවුරුදු 23 ක තරුණියක් යොදාගෙන සකස් කළ ටික්ටොක් වීඩියෝවක් ස්විස්ටර්ලන්තයේ සිටි පුද්ගලයාගේ ජංගම දුරකතනය වෙත යවා තිබේ.

පසුව එම තරුණිය හා ස්විස්ටර්ලන්ත ජාතිකයා අතර මිතුදමක් ගොඩනගා ගෙන ඇත.

ස්විස්ටර්ලන්ත ජාතිකයා ඇය සඳහන් කළ බැංකු ගිණුමට වරින්වර මුදල්ද එවා තිබේ.

එම මුදලින් කොටසක් එවා ඇත්තේ ස්විස් ජාතිකයා යාපනයට පැමිණි පසුව ඔවුන් දෙදෙනාට එකට ජීවත් වීමට අතිසුඛෝපභෝගී කාමරයක් ඉදිකිරීම පිණිසය.

තරුණිය එසේ ජීවත් වීමට කැමති බව ස්විස්ටර්ලන්ත ජාතිකයාට දැනුම්දීමෙන් පසුව ඔහු ඒ සඳහා මුදල් එවා තිබේ.

කාලයත් සමගම එම තරුණිය වෙනස් වී ඇති අතර දුරකතන ඇමතුම් ලබාගැනීම පවා නැවතී ඇත.

ස්විස්ටර්ලන්ත ජාතිකයා එහි සිට යාපනයේ සිටින තම ඥාතීන් බැලීමටත් පෙම්කළ තරුණිය සමග නිවාඩුවක් ගත කිරීමටත් සිතා යාපනයට පැමිණි පසුව තරුණිය සඳහන් කළ ලිපිනයේ එවැනි අයෙකු පදිංචි නොමැති බව අනාවරණය වී තිබේ.

පසුව ඔහු මේ සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කොට තමන් මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් අංකද පොලිසියට බාර දී ඇත.

බැංකු ගිණුම් ඔසේ පරීක්ෂණ සිදු කළ යාපනය පොලිසියට එම ගිණුම වයස අවුරුදු 47 ක කාන්තවකගේ බවට තහවුරු වීමෙන් පසුව පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට තිබේ.

ඇය මේ සිද්ධියේ සියල්ල හෙළිකිරිමෙන් පසුව පොලිසිය එම කාන්තාවන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසත් ලබා ගත් මුදල් ඉතාම ඉක්මනින් ආපසු ලබාදෙන බවටත් පොලිසියට පොරොන්දු වී ඇතත්, යාපනය පොලිසිය මේ කාන්තාවන් තිදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.(දිවයින)