September 9, 2024

එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී වසර 10 කට පසුව ඓතිහාසික ටෙස්ට් තරග ජයග්‍රහණයක් කඩුලු 08කින් වාර්තා කිරීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

එංගලන්තයය සමග පැවැති තෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී විශිෂ්ඨ පිතිකරණයක නිරතවූ පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කළ අතර, ඔහු පළමු ඉනි⁣මේදීද ලකුණු 64ක් රැස්කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (08) සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ තරගය ජයග්‍රහණය සදහා එංගලන්තය ලබාදුන් ලකුණු 219ක ඉලක්කය හඹායෑම සඳහාය.

එම ඉලක්කය කඩුලු 02ක් පමණක් දැවී සපුරාලීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේ ලකුණු 219 ක් රැස්කරමිනි.

එහිදී පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 127ක් රැස්කළ අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් රැස් කිරීමට සමත්විය.

ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ලට ගොඩනැගූ පිතිකරණ සබදතාව ලකුණු 111කි.

පළමු ඉනිමට එංගලන්තය ලකුණු 325ක් සහ ශ්‍රී ලංකාව 263ක් රැස්කළ අතර, අනතුරුව එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමාකිරීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී ලහිරු කුමාර කඩුලු 04ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 03ක් මෙන්ම අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් බිදහෙළූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර 1998 වසරේදී ලන්ඩන් ඕවල් හිදි ටෙස්ට් තරගයක් ක්‍රිඩාකර තිබු අතර, එය කඩුලු 10කින් ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ටෙස්ට් තරගය ජයගත්තද තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය දෙකට එකක් ලෙස එංගලන්තයට ජය හිමිවිය.

මෙම තරගාවලියේ දි තරග තුනම නියෝජනය කළ අසිත ප්‍රනාන්දු කඩුලු 17ක් බිදහෙළූ අතර, කමිදු මෙන්ඩිස් ලකුණු 217ක් රැස්කළේය.