September 9, 2024

ලබන 21 වැනිදා ඡන්ද මධ්‍යස්ථානවල කලබල ඇතිකර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට හා මැර කණ්ඩායම් පාලනය කිරීම සඳහා වෙඩිතැබීමට පොලිසියට බලය පවරා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්දය පැවැත්වෙන කාලසීමාවේ කලබල කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ද මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් ලබාදී ඇත.

මේ අතර, ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර රට පුරා ඇති නීතිවිරෝධී ගිනිඅවි සහ පාතාල කල්ලි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ඉදිරි දින කීපය තුළ ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

ඔවුන්ගේ සහායට විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් ද ඒ සඳහා යොදවා ගන්නා බව ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

රට පුරා නීතිවිරෝධී ගිනි අවි ලක්ෂ 2ක් පමණ පවතින බවට ආරක්ෂක අංශ අනුමාන කරයි.