September 9, 2024

ශ්‍රී ලංකාවේ ‘විටමින් ඩී’ ඌණතාවෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාවේ ඉහළ යෑමක් වාර්තා වීමත් සමග ඒ සම්බන්ධයෙන් රජයේ රෝහල්වල අවධානයට ලක්ව ඇති බව වෛද්‍ය වෘත්තිකයෝ පෙන්වාදෙති.

“උග්‍ර විටමින් D ඌනතාවයෙන් පෙළෙන දරුවන් විශාල සංඛ්‍යාවක් අප වෙත පැමිණෙනවා,” රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඩේලි මෝර්නින් වෙත පවසා ඇත. “මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඝර්ම කලාපීය රටක් වුවද, වැඩි ළමුන් සංඛ්‍යාවකට ප්‍රමාණවත් හිරු එළිය නොලැබීමයි” යනුවෙන් ද ඔහු පැවසීය.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරන්නේ, අන්තර්ජාලයට සහ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම මෙන්ම හොඳම ලකුණු ලබා ගැනීමේ තරගය වැඩිවීම නිසා ළමුන් එළිමහනට සහ හිරු එළියට නිරාවරණය වීම අඩුවී ඇති බවයි.

“දරුවන්ට සෙල්ලම් නොකර මුළු දවසම පාඩම් කරන ලෙස වැඩි වැඩියෙන් මාපියන් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ ඔවුන්ව රෝහල්ගත කරන්නේ ඔවුන්ට අසනීප ගතියක් දැනෙන නිසා සහ යම් ආකාරයක මන්දපෝෂණයකින් පෙළෙන නිසා.” බව වෛද්‍යවරයා පෙන්වාදෙයි.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ විටමින් D ඌණතාව, දරුවන්ගේ මන්දපෝෂණය සඳහා දායක හේතුවක් බවයි. දරුවන්ට හිරු එළියේ ක්‍රියාකාරකම්වල යෙදීමට සහ මාළු, බිත්තර කහමදය සහ සෞඛ්‍ය සම්පන්න මේද වැනි ආහාර අනුභව කිරීමට ඉඩ ලබාදෙන ලෙස නිර්දේශ කරන බව ද ඔහු පවසයි.

“මව්පියන් තම දරුවා දුරක්ථනය භාවිත කිරීමේ කාලය සීමාකළ යුතු අතර එළිමහනේ සෙල්ලම් කිරීමට ඉඩ දිය යුතුය,” යනුවෙන් ද ඔහු පවසයි.

දරුවන්ගේ සිරුරේ විටමින් D නිෂ්පාදනය කිරීමට දිනපතා උදෑසන 10 සිට පස්වරු 3 දක්වා විනාඩි 15ත් 20ත් අතර කාලයක් හිරු එළියට නිරාවරණය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයද නිර්දේශ කරයි.

ජාතික සෞඛ්‍ය සේවයට අනුව විටමින් D ඌනතාවය ළමුන් තුළ අස්ථි වර්ධනයට බලපාන අතර අස්ථි වේදනාවට හේතු වන රික්ට්සියා තත්ත්වයට හේතු විය හැක.

වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 1-4 අතර ළමෝ වෙනත් ඕනෑම වයස් කාණ්ඩයකට වඩා විටමින් D ඌනතාවෙන් පීඩාවිඳිති.

වසංගත රෝග විද්‍යා අංශයට අනුව මෙරට වයස අවුරුදු 10-18 අතර ළමුන්ගෙන් 13.2%ක් විටමින් D ඌණතාවෙන් පෙළෙන අතර ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 58.8%ක් විටමින් D ඌණතාවෙන් පෙළෙති.