September 9, 2024

යූටියුබ් නාලිකා හරහා ප්‍රචාරය වන කෙටි වීඩියෝ පට මගින් සාපරාධි බියගැන්වීම් හා වෛරී ප්‍රකාශ සිදුවන නිසා, මෙයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සහකාර තේරීම් භාර නිලධාරී එස්.ඒ.එන්.ආර්. සුබසිංහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

මෙම ලිපිය මගින් එක් වීඩියෝ පටයක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති අතර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට යොමුකර කඩිනමින් විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලා තිබේ.

ඇති විය හැකි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීඹට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් රජයේ ඉහළ නිල – තල දරන්නන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන්, දේශපාලනඥයන්ගේ ජිවිත හා දේපළ ආරක්ෂාව පිණිස පූර්ණ සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසත් මේ මගින් ඉල්ලා තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

‘ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය ලෙස පහත සඳහන් ආචාරධර්ම ආරක්ෂා කරමින් කටයුතු කළ යුතුව ඇත.

කාර්යය ඉටුකිරීමේදී විෂයමූලික බව සාධාරණව ඉටු කිරීම, ස්වාභාවිකව යුක්තියේ මූලධර්ම අනුව ක්‍රියා කිරීම, සද්භාවයෙන් ක්‍රියාකිරීම හා රහස්‍යභාවය ආරක්ෂා කිරීම, නීතිවිරෝධී හෝ දූෂිත කටයුතුවලට ඉඩ නොදීම, තොරතුරු අයථා ලෙස භාවිත කිරීම හා අවභාවිත කිරීම වැළැක්වීම, අපක්ෂපාතිව හා විනිවිදභාවයෙන් කටයුතු කිරීම, ගැටුම් සම්බන්ධ කටයුතුවලදී සියලුම පාර්ශ්ව සමග සුහදතාවෙන් මනා පාරදෘශ්‍යභාවයකින් සහ මනා සම්බන්ධීකරණයකින් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතට හා මැතිවරණ කොමිෂන් සභාවේ චක්‍රලේ බවලට නියම හා උපමාන විධානයන්ට අනුකූලව ක්‍රියාකිරීම.

එසේම උක්ත ආචාර්ධර්ම ආරක්ෂා කරමින් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව සතියක කාලයක් ගතවන තෙක් වූ කාලපරිච්ඡේදය මැතිවරණ නිරාකරණ මධ්‍යස්ථානයේ කාර්යයන් හා විෂයපථයට ඇතුළත් බැවින් මැතිවරණ දිනට පෙර මෙන්ම පසුව ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද ක්‍රියාකරනු ඇත.

සාපරාධී බියගැන්වීම්, වෛරී ප්‍රකාශ සිදුකිරීමට එරෙහිව, මීට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කිරීම ඇතිවිය හැකි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීම.

රජයේ ඉහළ නිලතල දරන හා දැරූ පුද්ගලයන්ගේ විශේෂයෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ දේපළ හා ජීවිත ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගැනීම.

මීට අමතරව පක්ෂ ක්‍රියාකාරීන්ගේ, දේශපාලනඥයන්ගේ දේපළ හා ජිවිත ආරක්ෂාව පිළිබඳ පූර්ණ සැලැස්මක් යෙදීම.’

මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් කඩිනමින් විමර්ශනය කිරීම මෙමගින් ඉල්ලා තිබේ.(දිවයින)