September 9, 2024

දළදා මාලිගාව යනු දළදාව වැඩ සිටින ‘උතුම් පුණ්‍ය භූමිය’ බැවින් එහි ගෞරවයට හානි සිදුවන ආකාරයේ කිසිදු කාර්යකට ඉඩ නොදිය යුතුයැයි හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පවසයි.

දළදා මාලිගාව තුළ යුවළක් ‘ප්‍රී ෂූට්’ හෙවත් ⁣පූර්ව මංගල ජායාරූපකරණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු දියවඩන නිලමේවරයා පවසන්නේ, එවැනි කාර්යයන්ට ලෝක බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා මාලිගාව භාවිත කිරිම නුසුදුසු බවයි.

තමන්ගේ නිල කාලය තුළ හා තම පියා දියවඩන නිලමේ ධූරය දරන කාලය තුළවත්, ඉතිහාසයේ සිටි කිසිදු දියවඩන නිලමේවරයකුවත් මෙලෙස දළදාවට ‘අබමල් රේණුවක’ තරමින්වත් අපහාස උපහාස වන ආකාරයේ සිදුවීම් කිසිවකට ඉඩ නුදුන් බවත් හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පවසයි.

මෙම යුවළට හා කැමරා ශිල්පියාට හිතුමතේ මෙවන් ක්‍රියාවක් කළ නොහැකි බවත්, ඒ සඳහා ඉඩප්‍රස්ථා ලබාදෙමින් පහසුකම් ලබාදුන්නේ කවුරුන්දැයි සොයාබැලිය යුතු බවත් හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

‘⁣මහත් බැතියෙන්’ දළදා මැදුරට පැමිණෙන දරුවන් ජායාරූප ගැනිමට යෑමේදි ඊට බාධාකරන සේවකයන් හා පොලිස් නිලධාරින්, මෙම මංගල ජායාරූප ගැනීම නුදුටු බවක් කියන්නේ නම් එය කිසිසේත්ම පිළිගත නොහැක්කක් බවද හෙතෙම කියයි.

පැරණි සම්ප්‍රදායන් බිඳදමා ලේකම්වරුන් අධ්‍යක්ෂකවරුන් ඇතුළු සේවකයන් අතිවිශාල පිරිසක් පත්ව සිටින මේ යුගයේදී දළදා මාළිගාවේ මෙවන් සිදුවීම් හුදෙකලාව සිදුවිය නොහැකි බවද හිටපු දියවඩන නි⁣ලමේවරයා කියයි.

දළදාවට අගෞරවයක් සිදුවන මෙවන් ක්‍රියාවන් ඉදිරියටත් සිදුවිය හැකි බැවින්, මෙයින්ම මෙය නතර කිරිමට මහනාහිමිවරුන්ගේ මෙන්ම සෙසු බලධාරින්ගෙ අවධානය යොමුකළ යුතු බවත් හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

“මෙහෙම ගියහොත් ඉදිරියේදි ඓතිහාසික මඟුල් මඩුවේ මංගල උත්සව පවා ගැනිමට සූදානම් වේවි” යැයි බොහෝ බෞද්ධ නායකයන් තමන් සමඟ සංවේගයෙන් පැවසූ බවද හිටපු දියවඩන නිලමේවරයා වැඩිදුරටත් පවසයි.