September 8, 2024

ආර්ථික අර්බුදයෙන් පසු ආදායම් අහිමිවීම් සහ ආහාර උද්ධමනය ඉහළයෑම සමඟ මෙරට ගෘහස්ථ මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවය ඉහළ ගොස් තිබේ.

2023 ජූලි – සැප්තැම්බර් කාලය තුළ ගෘහ ඒකකවලින් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා ඇති බව පාර්ලිමේන්තු කමිටුවක වාර්තාවකින් හෙළිදරව් වී තිබේ.

2023 වසරේ තුන්වැනි කාර්තුව තුළ, 2023 මාර්තු මාසයේ 17% ට සාපේක්ෂව කුටුම්භවලින් 24% ක් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව තිබේ.

එම කාලය තුළ ඉහළම ආහාර අනාරක්ෂිතභාවය වන 51% වතු අංශයෙන් නිරීක්ෂණය වූ අතර, පසුව ග්‍රාමීය අංශයෙන් 26% ක් සහ නාගරික අංශයෙන් 15% ක් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව තිබේ.

“ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය වැඩිවේද යන්න සොයාබැලීමටත්, ඒ සම්බන්ධයෙන් ගතයුතු කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග මෙන්ම හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමත් ඒ සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ එම තොරතුරු ඇතුළත් කර ඇත.

2022 ආර්ථික පසුබෑමේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් 64% ක් ඔවුන්ගේ ආදායම අඩුවීමට මුහුණදුන් බව වාර්තාවේ සඳහන් වේ.

විශේෂයෙන් දෛනික වැටුප් ලබන්නන්ගෙන් 82%ක් සහ ගොවීන්ගෙන් 78% කට ආදායම් අඩුවීමකට මුහුණදීමට සිදුවූ අතර ජනගහණයෙන් 98% කට ආහාර මිල ගණන් ඉහළ යෑම දැඩිව බලපා ඇත.