September 5, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලක් සළකා බැලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කල්දමා තිබේ.

ඒ අනුව අදාළ නඩුව අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එය 2025 පෙබරවාරි මස 13 වැනි දින විභාගය සඳහා යළි කැඳවීමට නියෝග කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 15ක පමණ මුදලක් අයථා ලෙස උපයාගත් මුදල් HelloCorp (Pvt. Ltd) ආයතනයේ ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණේ යහපාලන රජය සමයේදීය.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දන්වා තිබුණේ විමර්ශනයට අදාළ සියලු උපුටන උපදෙස් පතා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බවත්ය.

පසුව, මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය 2025 පෙබරවාරි 13 දිනට කල් දැමූ අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළේය.