September 5, 2024

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරුගේ චරිතයට පණ පෙවූ ඉන්දීය සිනමා නළු ගගන් මලික් ඉන්දීය බෞද්ධයන් ශ්‍රී ලංකාවට වන්දනා ගමන් සඳහා රැගෙන ඒම ආරම්භ කර තිබේ.

මහාරාෂ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශ් සහ තෙලිංගනා යන ප්‍රාන්තවල බෞද්ධ වන්දනාකරුවන් 65 දෙනෙකු සමඟ ගගන් අරලියගහ මන්දිරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවිය.

බෞද්ධ වන්දනා නඩය පිළිගනිමින් අගමැතිවරයා කියා සිටියේ මෑත වසරවලදී ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම බෞද්ධ වන්දනා කණ්ඩායම මෙය බැවින් ඔවුන් හමුවීමට තමන් තීරණය කළ බවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට බැඳ තබන ප්‍රබලම බැඳීම බුදුදහම වන අතර බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ ශ්‍රේෂ්ඨතම දායාදය අපට ලබා දුන් ඉන්දීය අශෝක අධිරාජ්‍යයාට සහ ඔහුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේට අප සදාකාලික ස්තූතිය පුද කරන බව ඔහු පැවසීය.

රංගන ශිල්පී ගගන් මලික් පැවසුවේ බුදුදහම ප්‍රචාරණය කිරීමටත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහ ලෝකයේ ප්‍රචලිත කිරීමටත් තමන් පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවයි.

තමන් මෙම විශාල වන්දනා නඩය ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේ ඒ සඳහා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ මිලියන ගණනක් බෞද්ධයන් සිටින බැවින් බෞද්ධ වන්දනා චාරිකා සඳහා විශාල අවස්ථා ඇති බව ඔහු පැවසීය.

චාරිකාවට එක්ව සිටි එක් වන්දනාකාරියක් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අනීතා ප්‍රමෝද් පැවසුවේ දළදාමාලිගාවේ පූජනීය බුද්ධ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ තම ආශාව ඉටු කර ගැනීමට හැකිවීම ගැන තමා අතිශයින් සතුටට පත්වන බවයි.

අනුරාධපුරයේදී තේජාන්විත චෛත්‍යයන් දැක පූජනීය ශ්‍රී මහාබෝධි වන්දනා කළ බව මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර්හි සිට ශෂිකාන්ත් වන්කාඩේ පැවසීය.

මෙම ස්ථාන නැරඹීමට පැමිණෙන ලෙස තම හිතවතුන්ගෙන් සහ ඥාතීන්ගෙන්ද ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ නිෂ්පාදක නවීන් ගුණරත්න එක්ව සිටියහ.